2015න් පසු ප්‍රථම වතාවට විදෙස් රාජ්‍ය නායකයෙක් පාර්ලිමේන්තුව අමතයි

2015න් පසු ප්‍රථම වතාවට විදෙස් රාජ්‍ය නායකයෙක් පාර්ලිමේන්තුව අමතයි
  • SocialShare:

වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) මහතා, රාජ්‍ය සංචාරයක් සඳහා ඊයේ(07) රාත්‍රියේ දිවයිනට පැමිණි අතර, පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(08) ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත් වේ.

පිළිගැනීමේ නිල උත්සවයෙන් අනතුරුව  ජනාධිපති ටෝ ලාම් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

අනතුරුව, වියට්නාම් ජනාධිපතිවරයා කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ ස්ථාපිත හෝ චි මිං පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමටද, කොළඹ මහජන පුස්තකාලයේ පිහිටා ඇති වියට්නාම්-හෝ චි මිං කලාපයේ (Vietnam-Ho Chi Minh Space) ඇති ඓතිහාසික ඡායාරූප එකතුව නැරඹීමටද නියමිතය.

ඉන් අනතුරුව, වියට්නාම් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතා විශේෂ දේශනයක් සිදු කරනු ඇත.

පාර්ලිමේන්තු පරිශ්‍රයට අද පෙරවරු 11.05 ට පිවිසෙන වියට්නාම් ජනාධිපතිවරයාව, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් පිළිගැනීමෙන් අනතුරුව, වියට්නාම් ජනාධිපතිවරයා සහ කථානායකවරයා අතර කෙටි හමුවක් පැවැත්වීමට සැලසුම් කර ඇත. මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා - වියට්නාම් මිත්‍රත්ව සංගමයේ සභාපති අමාත්‍ය (වෛද්‍ය) දම්මික පටබැඳි සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගි වනු ඇත.

මෙහිදී වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ අමුත්තන් සඳහා වන විශේෂ පුස්තකයෙහි සිය සටහන තැබීමට ද නියමිතය.

අනතුරුව සභාගර්භයට පිවිසෙන වියට්නාම් ජනාධිපතිවරයා කථානායකවරයාගේ ආසනය සමීපයේ පනවා ඇති විශේෂ ආසනයේ අසුන් ගන්නා අතර, පෙරවරු 11.40 ට පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් සිය විශේෂ කතාව සිදුකරයි. ඒ අනුව 2015 වසරෙන් පසු රාජ්‍ය නායකයෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරන පළමු අවස්ථාව ලෙසයි මෙය සැළකෙයි.

වියට්නාම් ජනාධිපතිවරයාගේ කතාවෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය සහ ගරු විපක්ෂ නායකතුමා සිය ප්‍රකාශයන් ඉදිරිපත් කිරීමට නියමිත අතර, අනතුරුව සභාව තාවකාලිකව අත්හිටුවීමෙන් පසු වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් නික්ම යනු ඇත.