පාර්ලිමේන්තුව මැයි 19 සිට 22 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් හංස අබේරත්න මහතා පැවසීය.
නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි මස 08 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඉහත දිනවලට අදාළ පාර්ලිමේන්තු කටයුතු පහත සඳහන් ලෙස තීරණය කොට තිබේ.
සෑම රැස්වීමේ දිනයකම පෙ.ව. 9.30 සිට 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් කටයුතු සඳහා වෙන් කර ඇති අතර, පෙ.ව. 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත්, පෙ.ව. 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහාත් කාලය වෙන් කර තිබේ.
මැයි 19 වැනිදා අඟහරුවාදා පස්වරු 11.30 සිට 5.00 දක්වා දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර, එදින පස්වරු 5.00 සිට 5.30 දක්වා විපක්ෂය විසින් ඉදිරිපත් කරන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමටද සැලසුම් කර ඇත.
මැයි 20 වැනිදා බදාදා දින ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරන යෝජනාවකට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 වර්ෂය සඳහා නිකුත් කළ ආර්ථික සමාලෝචන වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතය.
මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා දිනයේදී ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි තුනක් සහ විසර්ජන පනත යටතේ ඉදිරිපත් කර ඇති යෝජනා සම්මත නවයක් විවාදයට ගැනීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.
මැයි 22 වැනිදා සිකුරාදා දිනයේදී අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිහිපත් කරමින් ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීමට කාලය වෙන් කර ඇති අතර, එහිදී (මහාචාර්ය) තිස්ස විතාරණ, එස්.සී. මුතුකුමාරණ, චන්ද්‍රදාස ගලප්පත්ති, නන්දන ගුණතිලක, ජනක් මහේන්ද්‍ර අධිකාරි සහ කනගසබෙයි තම්මන්පිල්ලෙයි යන හිටපු මන්ත්‍රීවරුන් පිළිබඳව සිහිපත් කෙරීමට නියමිතය. එදින පස්වරු 5.00 සිට 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහාද කාලය වෙන් කර ඇති බව පාර්ලිමේන්තු කාර්යාලය සඳහන් කරයි.


