දිවයිනේ වැසි තත්ත්වය තවදුරටත් පවතින බැවින් ජනතාවට අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.
අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳව අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලට මෙන්ම අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ද විටින් විට වැසි ඇතිවිය හැකි බව ඔහු පැවසීය.
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි තත්ත්වයන් වාර්තා වී ඇති බවත්, පසුගිය පැය 24 තුළ කොළඹ, කළුතර, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල මිලිමීටර් 60 සිට 175 දක්වා වර්ෂාපතනයක් ලැබී ඇති බවත් සඳහන් කළේය.
මෙම තත්ත්වය හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ ජනතාව විශාල පිරිසක් පීඩාවට පත්ව ඇති අතර, රත්නපුර, ගාල්ල, මොණරාගල, මඩකලපුව, කළුතර, කොළඹ, පුත්තලම සහ යාපනය යන දිස්ත්‍රික්කවලින් පීඩාවට පත් ජනතාව වාර්තා වන බව ද ඔහු පැවසීය.
එමෙන්ම පහත් බිම් ප්‍රදේශවල ජීවත්වන ජනතාවට වැඩි බලපෑමක් එල්ල වී ඇති බව ද සඳහන් කළේය.
මේ වන විට විශාල ආපදා තත්ත්වයක් වාර්තා වී නොමැති නමුත්, වර්ෂාපතනය තවදුරටත් ඉහළ ගියහොත් දැඩි ආපදා අවදානමක් ඇතිවිය හැකි බව ද හෙතෙම අවධාරණය කළේය.
තවද දිස්ත්‍රික්ක දෙකක ආරක්ෂිත ස්ථාන පිහිටුවා ඇති අතර, කළුතර දිස්ත්‍රික්කයේ ආරක්ෂිත ස්ථානයක පුද්ගලයින් 29 දෙනෙකු සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ආරක්ෂිත ස්ථානයක පුද්ගලයින් 75 දෙනෙකු මේ වන විට රැඳී සිටින බව ද පැවසීය.
පවතින කාලගුණ තත්ත්වය හමුවේ ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු රාජ්‍ය ආයතන, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ ග්‍රාම නිලධාරීන් එක්ව සහන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කළේය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් නිරන්තරයෙන් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරන අතර හදිසි මෙහෙයුම් සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව ද හෙතෙම පැවසීය.
ඕනෑම ආපදා තත්ත්වයක් පිළිබඳව පැය 24 පුරා ක්‍රියාත්මක 117 හදිසි දුරකතන අංකය ඔස්සේ දැනුම් දෙන ලෙසත්, ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


