උත්සව සමය හේතුවෙන් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට අප්‍රේල් 18 වැනිදා දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී QR ක්‍රමය සැලකිල්ලට නොගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකදී තෙල් සංස්ථා සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා මේ බව සඳහන් කළේය.
එමෙන්ම ඩීසල් වාහන සඳහා QR ක්‍රමය යථා පරිදි ක්‍රියාත්මක වන බවද ඔහු පැවසීය.
අප්‍රේල් මාසයේදී පිරිපහදු කළ තෙල් රැගත් නෞකා 12ක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව සඳහන් කළ සභාපතිවරයා, ජූනි මස අවසන් වන තෙක් පෙට්‍රල් 92 සහ 95 හිඟයකින් තොරව ලබාදීමට හැකියාව ඇති බවද කියා සිටියේය.
එසේම තහවුරු කරගත් නෞකා අනුව මැයි අවසන් වන තෙක් ඩීසල් සැපයුමත් පවත්වාගෙන යා හැකි බවද ඔහු පැවසීය.
මේ අතර අප්‍රේල් 13 වනදා මෙට්‍රික් ටොන් 30,000ක ෆර්නස් ඔයිල් (Furnace Oil) රැගත් නෞකාවක් විදුලිබල අවශ්‍යතා සඳහා පැමිණීමට නියමිත බැවින් විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් එහිදී සඳහන් කෙරිණි.


