සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය සහ රටේ අභිවෘද්ධිය ඉලක්ක කර ගනිමින් ගන්නා සියලු තීන්දු තීරණ , කිසිදු දේශපාලන වාසියක් හෝ ජනප්‍රියත්වයක් සඳහා නොගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් දක්වන ලද්දේ කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහල, කොළඹ ද සොයිසා කාන්තා රෝහල, මහමෝදර ශික්ෂණ රෝහල, ජාතික අක්ෂි රෝහල සහ මාතර මහ රෝහල ඇතුළු සෞඛ්‍ය ආයතන 17 කට අධක්ෂවරුන් පත්කිරීම වෙනුවෙන් පැවති උත්සව අවස්ථාවට එක්වෙමිණි.
මෙම අවස්ථාවේදී කාසල් වීදියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම්. රංග, ද සොයිසා මාතෘ (ශික්ෂණ) රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය සී. පෙරේරා, මහමෝදර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය කේ.එම්. සෝමරත්න, ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය බී.අයි. කුරුකුලසූරිය සහ මාතර මහ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය ජේ.පී. රණසිංහ යන මහත්ම මහත්මීන් පත්වීම් ලබා ගන්නා ලදි.
එමෙන්ම පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් මෙන්ම මානසික සෞඛ්‍ය, මැලේරියා මර්දන, ලාදුරු මර්දන සහ ආහාර පරිපාලන පාලන ඒකක ඇතුළු අංශ රැසක අධ්‍යක්ෂවරුන්ට ද මෙහිදී පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි.
නව පත්වීම් සෞඛ්‍ය සේවාවේ ඉදිරි පියවරක් බව සඳහන් කළ අමාත්‍යවරයා, පසුගිය කාලයේ ලබාදුන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පත්වීම් මෙන්ම මෙම අධ්‍යක්ෂ පත්වීම් ද සෞඛ්‍ය පරිපාලන පද්ධතිය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් බව පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශය භාරගත් අවස්ථාවේ සිට ජනතා විශ්වාසය නැවත ගොඩනැගීම ප්‍රමුඛ අරමුණක් වූ බවත් මේ වන විට එම විශ්වාසය යළි තහවුරු කිරීමට හැකිවී ඇති බව ද කියා සිටියේය. ඉදිරි වසර එකහමාර තුළ එම ස්ථාවරත්වය මත පදනම්ව සෞඛ්‍ය සේවාව තවදුරටත් සංවර්ධනය කිරීමට කටයුතු කරන බව ද ඔහු පැවසීය.
රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා පසුගිය කාලයේ විශාල කැපවීමක් සිදු කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස රට යම් ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට හැකි වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අමාත්‍යාංශ මට්ටමින් සහ ජාතික මට්ටමින් ගනු ලබන තීන්දු තීරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීමේදී ආයතන ප්‍රධානීන්ගේ කාර්යභාරය ඉතා වැදගත් බව අවධාරණය කළ අමාත්‍යවරයා, අධ්‍යක්ෂවරුන්ට ස්වාධීනව සහ ශක්තිමත්ව කටයුතු කිරීමට අවශ්‍ය බලය හා සහාය ලබාදෙන බව ද සඳහන් කළේය.
මෙම අවස්ථාවට එක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ, රෝහල් හා සෞඛ්‍ය ආයතන කළමනාකරණය කිරීමේදී නව අධ්‍යක්ෂවරුන්ට විශාල වගකීමක් පැවරෙන බවයි. සියලු පාර්ශ්ව සමඟ සුහද සහයෝගයෙන් හා කාර්යක්ෂම කළමනාකරණයකින් කටයුතු කිරීමෙන් ආයතනවල ප්‍රගතිය තවදුරටත් ඉහළ නැංවිය හැකි බව ද ලේකම්වරයා සඳහන් කළේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ජනක කිත්සිරි ගුණවර්ධන, චාමික එච්.ගමගේ, කේ.පී. යෝගචන්ද්‍ර, නියෝජ්‍ය අ්‍යක්ෂ ජනරාල් (රසායනාලාර සේවා) විශේෂඥ වෛද්‍ය අර්ජුණ තිලකරත්න, අධ්‍යක්ෂ වෛද්‍ය අයන්ති කරුණාරත්න, යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


