ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනේඩියානු මහ කොමසාරිස් ඉසබෙල් මාටින් (Mrs. Isabelle Martin) මහත්මිය සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා අතර විශේෂ නිල හමුවක් ඊයේ (18) පස්වරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සහ දූෂණයෙන් තොර පාලන සංස්කෘතියක් ගොඩනැගීම සඳහා රජය ගෙන ඇති ප්‍රගතිශීලී ක්‍රියාමාර්ග පිළිබඳව මහ කොමසාරිස්වරිය සිය ප්‍රශංසාව පළ කළාය. දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග යුද වාතාවරණය වැනි අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද ජනතා අභිලාෂයන් ඉටු කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළද ඇයගේ ඇගයීමට ලක් විය.
දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන “ප්‍රජා ශක්ති” පිළිබඳව අමාත්‍ය උපාලි පන්නිල මහතා මෙහිදී මහ කොමසාරිස්වරිය දැනුවත් කළ අතර, ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම සහ අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීම සඳහා කැනේඩියානු රජයේ පූර්ණ සහය ලබාදීමට ඇය එකඟ විය.
එමෙන්ම වැඩිහිටි පුද්ගලයන් සහ ආබාධ සහිත පුද්ගලයන් සඳහා ක්‍රියාත්මක වන සමාජ ආරක්ෂණ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳවද දෙපාර්ශ්වයේ අවධානය යොමු විය. එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමටද මහ කොමසාරිස්වරිය එකඟතාව පළ කළාය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාල නියෝජිත පිරිසක් සහ අමාත්‍යාංශ නිලධාරීහු එක්ව සිටියහ.


