ජාතික යොවුන් සේනාංකය (NYC) සහ ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය (SLAA) අතර ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව අතර දුනු විදීමේ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සහ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමේ අරමුණින් සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට ඊයේ (17) අත්සන් තබන ලදී.
මෙම ගිවිසුමට අනුව, දිවයින පුරා පිහිටි ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන ජාලය කේන්ද්‍ර කරගනිමින් විධිමත් දුනු විදීමේ පුහුණු වැඩසටහන්, පුහුණුකරුවන් සවිබල ගැන්වීමේ වැඩමුළු සහ දක්ෂතා සහිත තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීමේ ජාතික මට්ටමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙම සියලුම පුහුණු සැසි, වැඩමුළු සහ ඊට අදාළ තාක්ෂණික දායකත්වය ජාතික යොවුන් සේනාංක යෞවනයින් වෙනුවෙන් පූර්ණ ස්වේච්ඡා පදනමින් සහ නොමිලේ ලබා දීමට ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය එකඟතාවය පළ කර ඇත.
ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ජාතික ඔලිම්පික් කමිටුවේ පූර්ණ සහයෝගය යටතේ නුවරඑළිය ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල “ජාතික ඉහළ කාර්යසාධන දුනු විදීමේ පුහුණු මධ්‍යස්ථානයක්” (National High-Performance Archery Training Centre) ලෙස සංවර්ධනය කිරීමට ද පියවර ගෙන ඇත.
මෙම වැඩසටහන සඳහා අවශ්‍ය මූලික යටිතල පහසුකම්, පුහුණු පරිශ්‍ර සහ පරිපාලනමය සහාය ජාතික යොවුන් සේනාංකය විසින් සපයනු ලබන අතර, ලෝක දුනු විදීමේ සම්මේලනයේ (World Archery) නීතිරීතිවලට අනුකූල තාක්ෂණික මඟපෙන්වීම්, පුහුණුකරුවන් අනුයුක්ත කිරීම සහ පුහුණු සැලසුම් සකස් කිරීම ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය විසින් සිදු කරනු ඇත.
වසර පහක කාලයක් සඳහා බලපැවැත්වෙන මෙම ගිවිසුම මඟින් ග්‍රාමීය හා නාගරික තරුණ තරුණියන්ට තම ක්‍රීඩා කුසලතා වර්ධනය කර ගනිමින් ජාතික හා ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ අත්කර ගැනීම සඳහා නව අවස්ථා රැසක් උදා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාව සඳහා ජාතික යොවුන් සේනාංකය නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ ගාමිණී වික්‍රමපාල, අතිරේක අධ්‍යක්ෂ (පුහුණු හා සංවර්ධන) සමන් කුලසූරිය, අතිරේක අධ්‍යක්ෂ (පරිපාලන හා මූල්‍ය) ආර්. නිශාන්ත පුෂ්පකුමාර, සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන) ඉනෝකා ගුණවර්ධන සහ නීති නිලධාරිනී චාන්දනී මැණිකේ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය නියෝජනය කරමින් එහි සභාපති මේජර් අජිත් තිලකරත්න (විශ්‍රාමික) මහතා සහ එම සංගමයේ සංවර්ධන පාඨමාලා අධ්‍යක්ෂ කපිතාන් එච්.කේ. ඉන්ද්‍රනාත් පෙරේරා (විශ්‍රාමික) මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


