"Gem City Ratnapura 2026" ජාත්‍යන්තර ප්‍රදර්ශනය අගෝස්තු 31 සිට සැප්තැම්බර් 2 දක්වා රත්නපුරයේදී

"Gem City Ratnapura 2026" ජාත්‍යන්තර ප්‍රදර්ශනය  අගෝස්තු 31 සිට සැප්තැම්බර් 2 දක්වා රත්නපුරයේදී
  • SocialShare:

ශ්‍රී ලංකාව ගෝලීය මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යස්ථානයක් ලෙස තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන "Gem City Ratnapura 2026" ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2026 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 2 දක්වා රත්නපුරයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසීය.

අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා  මේ බව පැවසීය. ජාත්‍යන්තර ප්‍රදර්ශන දින දර්ශනයට සමගාමීව මෙම ප්‍රදර්ශනය සංවිධානය කර ඇති අතර, කලාපීය සහ ජාත්‍යන්තර ගැනුම්කරුවන්ට ශ්‍රී ලංකාවට පැමිණ ව්‍යාපාරික අවස්ථා සොයා බැලීමට මෙය වැදගත් අවස්ථාවක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) විසින් සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ තෙවැනි වරටය. රත්නපුරය ජාත්‍යන්තර මැණික් වෙළෙඳ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ දිගුකාලීන සැලැස්මේ එක් පියවරක් ලෙස මෙම ප්‍රදර්ශනය සංවිධානය කෙරෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මැණික් කැණීම්, පතල් කර්මාන්තය, නිෂ්පාදන හා අපනයන ක්ෂේත්‍රවල පවතින බාධා අවම කරමින් කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාව බවත්, එම ඉලක්කය කරා යන ගමනේ වැදගත් අවස්ථාවක් ලෙස "Gem City Ratnapura 2026" ප්‍රදර්ශනය සැලකෙන බවත් ඔහු සඳහන් කළේය.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, ලංකා මැණික් ව්‍යාපාරිකයින්ගේ හා පතල්කරුවන්ගේ සංගමය ඇතුළු කර්මාන්තයට සම්බන්ධ පාර්ශ්වකරුවන්ගේ සාමූහික දායකත්වයෙන් මෙම ප්‍රදර්ශනය සංවිධානය කෙරේ.

ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ හදවත ලෙස සැලකෙන රත්නපුරයේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය මගින් ලොව පුරා ප්‍රසිද්ධ ශ්‍රී ලාංකේය මැණික්, උසස් තත්ත්වයේ ස්වර්ණාභරණ, දේශීය ශිල්පීය කුසලතා, නවෝත්පාදන සහ ආයෝජන අවස්ථා දේශීය හා ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ.

මෙවර ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශන කුටි 60කට ආසන්න සංඛ්‍යාවක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර, මහා පරිමාණ අපනයනකරුවන්, ප්‍රමුඛ ස්වර්ණාභරණ නිෂ්පාදකයින් මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ද සිය නිෂ්පාදන හා සේවාවන් ප්‍රදර්ශනය කිරීම සඳහා අවස්ථාව හිමි වේ.