ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදු ප්‍රදේශයක සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කිලෝ ග්‍රෑම් 103කට අධික මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකර මහතා පවසයි.
අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව, සැකකරුවන් 6 දෙනා සහ මත්ද්‍රව්‍ය තොගය අද ( 08) උදෑසන දික්ඔිවිට වරාය වෙත රැගෙන ආ අතර, එම අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය ආමාත්‍යවරයා මේ බව පැවසීය. මෙම මෙහෙයුමෙන් කිලෝ ග්‍රෑම් 103කට අධික මත්ද්‍රව්‍ය තොගයක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 2.2කට වැඩි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා රජය ගෙන යන ජාතික වැඩසටහන යටතේ මත්ද්‍රව්‍ය සහ ඒ සඳහා සම්බන්ධ රැසක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද කීය. මෙම අත්අඩංගුවට ගැනීම් නිසා මේ වන විට එම ජාවාරම්කරුවන් අතර විශාල ඝට්ටනයක් ඇති වි තිබෙන බවද ඒ හේතුවෙන් ඇතැම් වෙඩි තැබීම් සිදු වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. නාවික හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව එම විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා විශාල සේවයක් ඉටු කරන බවත්, ඒ වෙනුවෙන් ඔවුන්ට ස්තුතිය පුද කරන බවද හෙතෙම සඳහන් කළේය.
රටම එකට ජාතික මෙහෙයුම දිගටම ක්‍රියාත්මක කරන බවත්, ජාවාරම්කරුවන්ට විෂ මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට කිසිදු ඉඩක් නොතබන බවත්, එවැනි ජාවාරම්කරුවන්ට ඉවත් වෙන ලෙසත්, ඔවුන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා අවධාරණය කළේය.


