නාවික හමුදාව සිදුකල ඒකාබද්ධ මෙහෙයුමක් මඟින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රා 02ක් නීතියේ රැහැනට

නාවික හමුදාව සිදුකල ඒකාබද්ධ මෙහෙයුමක් මඟින්  මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රා 02ක් නීතියේ රැහැනට
  • SocialShare:

ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකල ඒකාබද්ධ මෙහෙයුමක් මඟින් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් 11ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව; රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ කලාපීය මෙහෙයුම් සම්බන්ධීකරන මධ්‍යස්ථානය හා එක්ව සිදුකල විශේෂ එකාබද්ධ මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් එකොලොස් දෙනෙකු (11) ශ්‍රී ලංකාවට දකුණෙන් වූ ගැඹූරු මුහුදේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එම මත්ද්‍රව්‍ය තොගය රැගත් බහුදින ධීවර යාත්‍රා සහ සැකකරුවන් දික්ඕවිට වරාය වෙත අද (2025 මැයි 28) උදෑසන රැගෙන ආ අතර, එම අවස්ථාව නිරීක්‍ෂණය සඳහා ගරු නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සමඟ නාවික හමුදාධිපති සහ වැඩබලන පොලිස්පති සහභාගී වූහ.

දික්ඕවිට වරායේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය සහිතව එම බහු දින ධීවර යාත්‍රා තුල සිදුකල වැඩිදුර පරීක්‍ෂාවේදී, ප්‍රවාහනය කරමින් තිබූ මත්ද්‍රව්‍ය හෙරොයින් සහ අයිස් බවට තහවුරු වූ අතර, යාත්‍රා දෙකෙහී (02) තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 503 ග්‍රෑම් 618ක පමණ තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 275 ග්‍රෑම් 594ක පමණ තොගයක් සොයා ගැනීමෙන් අනතුරුව, එම මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ බහුදින ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත අද (2025 මැයි 28) භාරදීමට කටයුතු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වු, ගරු නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික), මත්ද්‍රව්‍යයෙන් තොර රටක් බිහි කිරීමේ රජයේ සංකල්පයට අනුව, රට තුලට මත්ද්‍රව්‍ය රැගෙන ඒම මැඩපැවැත්වීම සඳහා සියළුම මාර්ග අවහිර වන පරිදි ත්‍රිවිද හමුදාව, පොලීසිය, දේශීය හා විදේශීය බුද්ධි අංශ සහ නීතිය ක්‍රියාත්මක කරනු ලබන සියළු පාර්ශවයන් හා එක්ව, සැලැස්මක් සහිතව මත් ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරනු ලබන බවත්, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධවන ඕනෑම පාර්ශවයක් වෙත දැඩි නීතිමය පියවර ගන්නා බවත් අවධාරණය කෙරිණි.

තවද, මෙම මෙහෙයුමත් සමඟ ශ්‍රි ලංකා නාවික හමුදාව, අනෙකුත් පාර්ශවයන් හා එක්ව 2025 වර්ෂයේ මේ දක්වා සිදුකල ඒකාබද්ධ මෙහෙයුම් මඟින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 544 කට අධික තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1217 කට අධික තොගයක් නීතියේ රැහැනට හසුකර දීම සඳහා දායක වී ඇති අතර, මත්ද්‍රව්‍ය උවදුරෙන් අනාගත පරපුර බේරා ගැනීම වෙනුවෙන් මෙවැනි ඒකාබද්ධ මෙහෙයුම් සඳහා නාවික හමුදාව ඉදිරියටත් අඛණ්ඩව දායකත්වය ලබා දෙනු ලබයි.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.