නමුත් වර්තමානයේ බොහෝ දෙනෙකුහට අතුරුදහන් වූ තැනැත්තකු යන්නෙහි නිර්වචනය වඩා පුද්ගලික, ව්‍යාකූල හා වේදනාකාරී වේ. ඔවුන්ට පවුල යනු මේසයක ඇති හිස් පුටුවක්, ඇඳුම් රාක්කයක එල්ලා ඇති වසර ගණනාවකින් පාවිච්චි නොකරන ලද ඇඳුම්, අමතක වී ඇති වැළඳගැනීමක් සහ කාලයත් සමග අඩු නොවන හදවත පතුලේ වන වේදනාවක් හා කිසිදා පිරවිය නොහැකි හිඩසක් පමණි. අතුරුදහන් වූ තැනැත්තකු යනු කිසිදා නික්ම යාමේ දී සුභ පැතීමක් කිරීමට පවා නොහැකි වූ අයගේ සමීපතමයෙක් සහ ඔවුන් නොමැති වීමෙන් පසු පැන නැගුණු අනන්ත වූ ප්‍රශ්න මාලාවකි. ඔවුන් අතුරුදහන් වූයේ කෙසේද? දැන් ඔවුන් සිටින්නේ කොහිද? යළි කෙදිනක හෝ ඔවුන් දැකගත හැකි වේද?
දශක ගණනාවකින් පසුවත් ඒ පිළිබඳ නොදැන ඔවුන්ට වේදනා විඳීමට සිදු වීම සාධාරණ නොවේ. ඔවුන්ගේ වේදනාවෙන් මිදීම පහසු කාර්යයක් නොවේ. අතුරුදහන් වූවන් සෙවීම ආරම්භ වූයේ වසර 30ට පමණ ඉහතදීය. අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව පිහිටුවන ලද්දේ 1991 දී වුවත් අතුරුදහන් වූවන් පිළිබඳ කතාව සම්බන්ධයෙන් අපේක්ෂාවක් හෝ තහවුරුවක් මේ වන තෙක් ඇති වී නොමැත. එම කතාව බලපෑම්, අසරණභාවය, හා කඩවුණු පොරොන්දු මගින් අවලස්සන වී ඇත. 1970 ගණන්වල දකුණේ දේශපාලන කැරලි අතරතුර පුද්ගලයෝ අතුරුදහන් වූහ. තරුණ ජීවිත උදුරා ගන්නා ලද අතර ඔවුන්ගේ නැති වීම පිළිබඳ දත් කිසිවෙකුත් නොවීය. මෙය අවසානය නොවීය. වසර 30ක සිවිල් යුද්ධය විසින් ජාති, කුල හෝ ආගම් භේදයකින් තොරව ජීවිත රැසක් තම ග්‍රහණයට නතු කර ගන්නා ලදී. උතුරු නැගෙනහිර පළාත්හි නිවෙස්වලින් ගෙන ගිය දරුවන්, ත්‍රස්තවාදය හේතුවෙන් එකිනෙකාගෙන් වෙන් වූවන්, හා තම කඳවුරු වෙත යළි පැමිණීමට නොහැකි වූ හමුදා භටයින්; අද වන විට අතුරුදහන් වූ පුද්ගලයන් දහස් ගණන අතුරින් කිහිප දෙනෙකු පමණි. මේවා කිසිවෙකුත් තොරතුරක් නොදන්නා එහෙත් තොරතුරු දැන ගත යුතු ජීවිත වේ.
පසුගිය රජයන් විසින් අතුරුදහන් වූවන්ගේ ගැටළුව සඳහා විසඳුම් ලබා දීමට උත්සාහ දරණ ලදී. අතුරුදහන් වූවන් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා 1991, 1994 හා 2013 දී කොමිෂන් සභා කිහිපයක්ම ස්ථාපිත කරන ලදී. කෙසේ වුවද, මෙම කොමිෂන් සභා අවසානයක් දක්වා ක්‍රියාත්මක නොවිණි. එක් මූලික අභියෝගයක් වූයේ විමර්ශනයන් නිශ්චිත වූ කාල සීමාවන්ට පමණක් සීමා වීම හා පුද්ගලයන් අතුරුදහන් වූ සියළු අවස්ථාවන් පිළිබඳ අවධානය යොමු නොකිරීමයි. නිසි දත්ත හාතොරතුරු නොමැති වීම හේතුවෙන් අසම්පූර්ණ හා වැරදිසහගත සංඛ්‍යාලේඛන ඉදිරිපත් කෙරිණි. අයථා කළමනාකරණය හේතුවෙන් විමර්ශන ඵලදායී නොවුණු අතර එබැවින් සිද්ධීන් බොහෝමයක් නොවිසඳී පැවතුණි.
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ වාර්තාවකට අනුව 2016 වන විට අතුරුදහන් වූවන් පිළිබඳ සිද්ධීන් 16,000 පමණ පැවතිනි. සිවිල් යුද්ධය අවසන් වී වසර 7කින් පසුවත් ජනතාවගේ මෙම මූලික හා ප්‍රධාන ගැටළුව සාර්ථකව විසඳීමට ශ්‍රී ලංකාවට හැකි වී නැත.
වසර ගණනාවකට පසුව අවසානයේ අතුරුදහන් වූවන් පිළිබඳ ගැටළුව සඳහා පිළියමක් මෙන්ම එය අනාගතයේ දි නැවත ඇති වීම වැළැක්වීම සඳහා වැඩපිළිවෙලක් අත්‍යවශ්‍ය විය. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල පනත 2016 දී පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලද අතර අතුරුදහන් වූවන් පිළිබඳ වාර්තා වී ඇති සියළු සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සාමාජිකයන් 7න් සමන්විත කොමිෂන් සභාවක් සූදානම්ව පවතියි. උතුරු නැගෙනහිර පළාත්හි පැවති ගැටුම්වලදී අතුරුදහන් වූ පුද්ගලයන් පමණක් නොව දකුණේදේශපාලන හා සිවිල් කැරළි කෝලාහලවලදී අතුරුදහන් වූවන්, ක්‍රියාන්විතයේ දී අතුරුදහන් වූ ලෙසට හඳුනාගෙන ඇති සන්නද්ධ හමුදා හෝ පොලිසියේ සාමාජිකයන්, සහ ගැටුම් අතරතුර හා ඉන් පසුව බලහත්කාරයෙන් අතුරුදහන් කරවූ සියල්ලන් ද මෙයට ඇතුළත්වේ. රටේ සියළු ස්ථානයන්හි සියළු ම ජනවාර්ගික හා ආගමික පසුබිම්වලට අයත් සියළු දෙනා විසින් ඉදිරිපත් කරන ලද දුක්ගැනවිලි සඳහා පිළියම් ලබා දීමට අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයට දැන් අවස්ථාව ලැබී ඇත. මෙම කාර්යාලය ස්ථාපිත කිරීම දේශපාලන තීරණයක් නොවේ; අතුරුදහන් වූවන් සෙවීම අප ජාතියේ අවශ්‍යතාවයකි.
මෙම කාර්යාලය පාරදෘශ්‍ය හා ස්වාධීන ආයතනයකි. අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය මගින් නඩු පැවරීමක් සිදු නොකෙරේ. එහි ප්‍රධාන කාර්යය වන්‍නේ තම සමීපතමයන් අහිමි වීමනිසා වේදනා විඳින බලපෑමට ලක් වූ පවුල්වලට සහනයක් සැලසීමයි. මෙහිදී වැදගත් වන්නේ උතුරේ හෝ දකුණේ හෝ වේවා මෙම පවුල්වලට තම සමීපතමයන්ට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳ සත්‍යය සොයා ගැනීමේ අවස්ථාව ලැබීම, ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබීම, හා වසර ගණනාවක වේදනාව හා අනියතභාවයෙන් මිදීමට හැකි වීමයි.
මෙම කාර්යාලය ස්ථාපිත කරන ලද්දේ අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරීම පිළිබඳ පනත සම්බන්ධයෙන් ප්‍රවිචාරණ කාර්යසාධක බලකාය විසින් ලබා දෙන ලද නිර්දේශ මත පදනම්වය. මෙම කාර්යසාධක බලකාය විසින් දිවයින පුරා වින්දිතයන් හා බලපෑමට ලක් වූ පවුල් සමග ක්‍රියාකාරීව කටයුතු කරමින් මෙම ගැටළුව සඳහා විසඳුම් ලබා දීමට කළ හැකි දේ සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් විමසීම සිදු කරනු ලබයි. වැදගත් වන්නේ ඔවුන්ගේ අදහස් හා පීඩාවන්ය. ඔවුන්ගේ අදහස්වලට අවධානය යොමු නොකර ඔවුන්ගේ දුක්ගැනවිලි සඳහා පිළියම් ලබා දීමට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට හැකියාවක් නොමැත.
වින්දිතයන්ට හා පවුල්වලට ඉතා දීර්ඝ හා වේදනාකාරී කාලයක් ගත කරමින් බලා සිටීමට සිදු විය. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය යනු තම දරුවන් අහිමි වූ දෙමව්පියන්ට, තම සමීපතමයන් අහිමි වූ පවුල්වලට බලාපොරොත්තුවේ සහන් එළියකි. එය ඔවුන් බොහෝ කාලයක් තිස්සේ බලා සිටි පිළිතුරු ලබා ගැනීමට අවස්ථාවක් වන අතර සංහිඳියාව කරා ගමන් කරන ජාතියකට අවශ්‍ය වූවකි.
Article written by- OMP commissioner Maj Gen Mohanti Pieris