අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්‍‍ෂණය - 2016

    ඔක්තෝබර් 23, 2017
    ජනලේ‍ඛන හා සංඛ්‍යාලේ‍ඛන දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලැබූ ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණ වාර්තාව නිකුත් කොට ඇත.
     
    ඒ අනුව,
     
    ගෘහ ඒකක ආදායම
     
    ශ්‍රී ලංකාවේ මාසික මධ්‍යන්‍ය ගෘහ ඒකක ආදායම රු 62,237 කි. 2012/13 වර්ෂයේ පැවැත්වූ සමීක්ෂණයට සාපේක්ෂව පවත්නා මිල ගණන් යටතේ එය 35.7% ක වැඩිවීමකි. 2013 ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය වූ උද්ධමන බලපෑම් හමුවේ මූර්ත  ආදායම සලකන විට එය 15.8% ක වැඩිවීමකි. නාගරික, ග්‍රාමීය හා වතු අං‍ශයන්හි වාර්තා වු ආදායම් සැලකීමේදී, නාගරික අංශයේ මාසික මධ්‍යන්‍ය ගෘහ ඒකක ආදායම රු. 88,692 ක් හා ග්‍රාමීය හා වතු අංශවල එම අගය පිළිවෙළින් රු. 58,137 ක් සහ රු. 34,804 ක් ලෙස වාර්තා විය.
     
    ආදායම් විෂමතා
     
    දුප්පත්ම ගෘහ ඒකක 20‍‍‍‍‍‍‍‍% (1 හා 2 වන දශමකයන්), දුප්පත්ම ගෘහ ඒකක 40% (1 සිට 4 වන දශමකය දක්වා), මධ්‍ය පාන්තික ගෘහ එකක 60% (3 වන දශමකයේ සිට 8 වන දශමකය දක්වා) හා පොහොසත්ම ගෘහ එකක 20% (9 වන සහ 10 වන දශමකය) යන ප්‍රාන්තර තුල මාසික මධ්‍යන්‍ය ගෘහ ඒකක ආදායම් පි‍ළිවෙලින්  රු.14,843ක් , රු.22,423ක් , රු.46,097ක් හා රු.158,072 ක් වශයෙන් වාර්තා විය.
     
    ශ්‍රී ලංකාවේ මාසික මධ්‍යන්‍ය ඒක පුද්ගල ආදායම 2016 වසරේ රු.16,377 ක් විය. එම වර්ෂයේදී ආදායම් ලබන්නන්ගේ මාසික මධ්‍යන්‍ය ආදායම රු.33,894 ක් වු අතර මාසික මධ්‍යස්ථ ආදායම රු23,260ක් විය. ගෘහ ඒකකයක පදිංචි ආදායම් ලබන පුද්ගලයින් සංඛ්‍යාව සැලකූ විට 2016 වසරේ ගෘහ ඒකකයක  ආදායම් ලබන පුද්ගලයින් සංඛ්‍යාව 1.8 ක් ලෙස වාර්තා විය.  එම සමීක්ෂණ ප්‍රතිඵල අනුව වාර්තා වු ශ්‍රී ලංකාවේ  ගෘහ ඒකක ආදායම් ගිණි සංගුණකය 2016 වසර සඳහා  0.45 ක් වූ අතර එය  2012/13 සමීක්ෂණයේ දී 0.48 ක් විය.
     
    ගෘහ ඒකක වියදම
     
    ගෘහ ඒකකයක ආහාරපාන හා ආහාරපාන නොවන ද්‍රව්‍ය වල වියදම් සලකමින් ගෘහ ඒකක වියදම් ගණනය කරන ලදී.  ශ්‍රී ලංකාවේ ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණයෙන් අනාවරණය වු ප්‍රතිඵල අනුව 2016 වසරේ දී මාසික මධ්‍යන්‍ය ගෘහ ඒකක වියදම රු.54,999 ක් විය. ආහාර සදහා පමණක් මාසික මධ්‍යන්‍ය ගෘහ ඒකක වියදම රු.19,114 (34.8%) ක් ලෙස වාර්තා වු අතර ආහාරපාන නොවන ද්‍රව්‍ය සදහා වු මාසික මධ්‍යන්‍ය ගෘහ ඒකක වියදම රු.35,885 (65.2%) ක් ලෙස වාර්තා විය.
     
    මාසික මධ්‍යන්‍ය ගෘහ ඒකක වියදම,  2012/13 වර්ෂයට වඩා 2016 වර්ෂයෙහි  33%  ක වැඩීවීමක් පෙන්නුම් කරයි. එමෙන්ම ආහාර ද්‍රව්‍ය සදහා 2012/13 සමීක්ෂණයෙන් වාර්තා වු මාසික මධ්‍යන්‍ය ගෘහ ඒකක වියදම වන රු.15,651 ට සාපේක්ෂව 2016 වර්ෂයෙහි ආහාර ද්‍රව්‍ය සදහා වු  මාසික මධ්‍යන්‍ය ගෘහ ඒකක වියදම 22%ක (රු 19.114 ක් දක්වා) වැඩිවීමක් පෙන්නුම් කරයි. ආහාර නොවන ද්‍රව‍්‍ය සදහා 2012/13 සමීක්ෂණයෙන් වාර්තා වූ මාසික මධ්‍යන්‍ය ගෘහ ඒකක වියදම වන රු.25,793 ට සාපේක්ෂව 2016 වර්ෂයෙහි ඒම අගය 39% කින් (රු. 35,885ක් දක්වා) වැඩිවී ඇති බව මෙම සමීක්ෂණ දත්ත වලින් පෙන්නුම් කරයි. 2016 වසරේදී ශ්‍රී ලංකාවේ මාසික ගෘහ ඒකක මධ්‍යස්ථ වියදම 2016 වසරේ දී රු. 40,186 කි. සාමාන්‍ය මාසික ගෘහ ඒකක මුර්ත වියදම රු 38,282 කි. එය 2012/13 සමීක්ෂණයෙන් වාර්තා වු අගයට වඩා 13.3% ක වැඩි වීමකි. ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය මඟින් ශ්‍රී ලංකාවේ මාසික  ගෘහ ඒකක වියදම සඳහා ගිණි සංගුණකය  0.41  ක් ලෙස වාර්තා වු අතර 2012/13 සමීක්ෂණයේ දී එම අගය 0.40 ක් විය.
     
    දරිද්‍රතා වෙනස්කම්
     
    ශ්‍රී ලාංකීය ජනතාවගේ ජිවන තත්ත්වයන්හි කාලීන වෙනස්විම් මැන බැලීමට යොදාගත හැකි වඩාත් වැදගත් නිර්ණායකයක් වන්නේ නිල දරිද්‍රතා රේඛාවයි.
     
    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් ප්‍රථම වතාවට 2004 වර්ෂයේදී මෙම නිල දරිද්‍රතා රේඛාව හදුන්වාදෙන ලදි. මේ සදහා 2002 වර්ෂයේදි පවත්වන ලද ගෘහ ඒකක ආදායම් හා වියදම් සමික්ෂණයේ තොරතුරු  යොදා ගන්නා ලදී. නිල දරිද්‍රතා රේඛාව  කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මිල ගණන් වෙනස්වීම් මත යාවත්කාලින කරනු ලැබේ.
     
    මෙම සමීක්ෂණ තොරතුරු අනුව ශ්‍රී ලංකාවෙන් දුප්පත්කම අඩුවිමේ ප්‍රවනතාවක් පසුගිය වසර 14 තුලදිම දක්නට ලැබුණි. ඉහත සදහන් කළ දරිද්‍රතා රේඛාව අනුව 2002 වර්ෂයේදී ජනගහන දරිද්‍රතා අනුපාතය 22.7 % ක් විය. 2016 වසරේදී එය 4.1 % ක් දක්වා අඩු වී ඇත. මෙසේ පසුගිය දශක කිහිපය තුලළ ජාතික මට්ටමින් දුප්පත්කම අඩුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කලද, දුප්පත්භාවයේ අසමානතා තවමත් පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් හා නාගරික, ග්‍රාමිය, වතු යන අංශ මට්ටමින් දක්නට ලැබේ. 
     
    මේ පිළිබඳ වැඩිදුර විස්තර ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වෙබ්  අඩවිය වන www.statistics.gov.lk හි පළකර ඇති බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.
     
    ගෘහ ඒකක ආදායම්/ වියදම, ආදායම් විෂමතා, දරිද්‍රතාව වැනි තොරතුරු පිළියෙළ කිරීම සඳහා  ජනලේ‍ඛන හා සංඛ්‍යාලේ‍ඛන දෙපාර්තමේන්තුව මඟින් ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්‍ෂ‍ණය සෑම වසර 3 කටම වරක් පවත්වනු ලබන අතර 2016 වසරේ දී මෙම සමීක්ෂණ මාලාවේ 9 වැන්න පැවැත් වුණි. 
     
    මෙම සමීක්ෂණය සඳහා විධිමත් නියැදි තේරීමේ තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව මුළු රටම ආවර‍ණය වන පරිදි නිවාස ඒකක 25,000 ක නියැදියක් යොදා ගනිමින් 2016 ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා වු කාලය තුළ  දත්ත රැස් කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya