මෙහිදී නාගරික මෙහෙයුම් ක්‍රියාවලියේ අභිවෘද්ධිය සදහා වු උරුමයන් කළමනාකරණය හා සංචාරක ප්‍රවර්ධනය ඉලක්ක කරගත් ව්‍යාපෘති ඇරඹිම සදහා වසරක සිට ශක්‍යතා අධ්‍යයන සිදුකරන ලද්දේය. අනුරාධපුර පූජා නගරයේ උරුමයන් තිරසර සුරක්ෂිතාවකට නතු කිරිම ද නව ව්‍යාපෘතියේ මුඛ්‍ය අපේක්ෂාවයි. මේ වන විට එම ව්‍යාපාතින් සදහා අමාත්‍යංශ අනුමැතිය ද ලැබී තිබේ. ව්‍යපෘතිය සදහා මුදල් ආධාර සපයනු ලබන්නේ ප්‍රංශ රජය විසින් වන අතර ව්‍යාපෘතිය සදහා වැය කරන මුදල ඇමරිකානු ඩොලර් මිලියන හැටකි.
මේ පිළිබදව විශේෂ සාකච්ඡාවක් සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පූජා නගර සංවර්ධන කමිටුව පසුගියදා රැස්වීය.
එම අවස්ථාවේදී මහා සංඝරත්නය හා දිස්ත්‍රික්කයේ පරිපාලන ප්‍රධානීන්ගෙන් අදහස් ගණනාවක් මතු විණි. ව්‍යාපෘති සැලසුමට අනුව හදුනාගත් ස්ථාන දහයක් සංවර්ධනය කිරිමට බලාපොරොත්තු වන බව අදාල ව්‍යාපෘතිය භාර අධ්‍යක්ෂ ගංගාධාරී රණවක මහත්මිය පැවසී ය. නුවරවැව හා පොදු වෙළදපොළ යාකෙරෙන නුවර වැව මාර්ගය සංවර්ධනය , නුවර වැව බැම්ම ආශ්‍රිත සංවර්ධනය, පොදු වෙළදපොළ ආශ්‍රිත භුමී අලංකරණය, දුම්රිය මාර්ගයට සමාන්තර හරිත මං තිරුව , බණ්ඩාරනායක කෞතුකාගාරය ආශ්‍රිත භුමී අලංකරණය ,ජේතවනාරාම පිවිසුම් මාර්ගය වැඩිදියුණු කිරිම , ජේතවනාරාම භුමියේ සංචාරක අන්තර් නිවේෂණ මාධ්‍යස්ථානයක් ඇතිකිරිම, රන්මසු උයන ආශ්‍රිත ජල හා භුමි අලංකරණ වැඩපිළිවෙළ , ඇතුල් නුවර ආශ්‍රීත මැදිහත් වීම , අභයගිරිය ආශ්‍රිත සංවර්ධනය ආදි වශයෙන් මෙම ස්ථාන දහය නම්කර තිබේ.
අද පැවැති පුජා නගර කමිටුවේ දී මෙම ස්ථාන දහය සංවර්ධනය කිරිම පිළිබදව ව්‍යපෘති අධ්‍යක්ෂවරිය අටමස්ථානාධිපති මහ නාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය හා අනුරාධපුර පරිපාලන නිලධාරින් හමුවේ කරුණු පැහැදිලි කළා. එම හදුන්වාදීම ද සමග ඇය සදහන් කලේ, ගෞරවනීය මහා සංඝරත්නයේ අදහස් වලින් පටහැනිව කිසිදු ව්‍යාපෘති අවස්ථාවක් ක්‍රියාත්මක නොකරන බවයි. මෙහිදී අදහස් දැක්වූ අටමස්ථානාධිපති ආචාර්ය අති ගෞරවාර්හ පුජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ සදහන් කලේ, ලංකාවේ හදවත මෙන්ම බෞද්ධාගමික හදවත ලෙස සලකන ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩසිටින පුජා නගරය සම්බන්ධයෙන් කටයුතු කිරිමේ යම් යම් පිරිස් අනවබෝධයෙන් කටයුතු කරන්නේ ද යන්න පිළිබදව අවධානයෙන් සිටිය යුතු නිසා මේ නව ව්‍යාපෘති පිළිබදව නිතර සොයා බැලිමට තමන් වහන්සේ කටයුතු කරන බවයි.
මෙම ව්‍යාපෘතින් තුල සාධනිය ලක්ෂණ ගණනාවක් පවතින බවත් , රන්මසු උයන වැනි ස්ථානයක් නවීකරණය කිරිමේ දී ඒ සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මනා අවබෝධයක් පවතින බවත් මීට එක්වු රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන හිමිපාණන් සදහන් කළේ ය. ලංකාරාම විහාරාධිකාරි පුජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමියන් සදහන් කළේ , මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ සංචාරකයින්ගෙන් අය කරන මුදල් වලින් කොටසක් අටමස්ථානයේ සංවර්ධනයට ද යොදවන්නේ නම් ඉතා යෝග්‍ය වන බවයි.
අනුරාධපුර පුජා නගරය අවට විවිධ පුජනීය ස්ථානයන් හී මංගල ඡායාරූප ආදිය ලබා ගැනිම නිතරම සිදු කිරිම ද පුජා නගරයට අයෝග්‍ය බව මහා සංඝරත්නයේ හා නිලධාරින් ගේ අදහස විය. දැනට වෙස්සගිරිය , මල්වතු ඔය ආශ්‍රිතව ශීඝ්‍රයෙන් මෙම කටයුත්ත සිදුවේ. එය නතර කිරිමට ද කිසියම් වැඩපිළිවෙලක් යෙදීම පිළිබදව මෙහිදී කතිකා කෙරිණි.
පුජා නගරය තුල රියදුරු පුහුණුව ලබාදීමේ ක්‍රියාවලිය ද වෙනත් ස්ථානයක සිදුකිරීමට පහසුකම් සැකසිම පිළිබදව අදහස් සාකච්ඡා කරන ලදි. මෙම සියලු කටයුතු පිළිබදව කල්පනා කරමින් අනුරාධපුර පුජා නගර සංවර්ධන කාර්ය ඉතා ක්‍රමවත්ව සිදුකල යුතු බව පුජා නගර සංවර්ධන කමිටුවේ සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජි. කුමාරසිරි මහතා සදහන් කලේය.
ෂෙල්ටන් බණ්ඩාර
අනුරාධපුරය