ජූනි 18, 2019
tami eng youtube  twitter facebook
    logo

    අඳුරට සාප කරමින් සිටීමට වඩා එක් පහනක් හෝ දැල්විමට උත්සාහ කිරීම වැදගත්

    ඔක්තෝබර් 24, 2015

    අඳුරට සාප කරමින් සිටීමට වඩා එක් පහනක් හෝ දැල්විමට උත්සාහ කිරීම වැදගත් යැයි ද අතීත වැරදි ගැන එකිනෙකාට චෝදනා කරමින් සිටිනවාට වඩා වැදගත් වන්නේ අතීත වැරදි නිවැරදි කර ගනිමින් අනාගතය යහපත් ලෙස ගොඩ නංවා ගැනීමේ මාර්ගයක් සකස් කර ගැනීම බවත් මේ සිදු කරන්නේ ඒ කටයුත්ත බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

     

    ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී කල් තැබීමේ විවාදයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව පැවසීය.

    තවදුරටත් පාර්ලිමේන්තුව ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කියා සිටියේය.

     

    ‘ජනවාර්ගික අර්බුදය, එය පදනම් කරගෙන පැතිරී ගිය ත්‍රස්තවාදය සහ යුද්ධය නිසා අප සියලූ දෙනාම පීඩාවට පත් වුණා. දුක් වින්දා. ජීවිත හා දේපල හානි කර ගත්තා. සාමාන්‍ය ජනතාව වගේම හමුදා සාමාජිකයන් ද මේ විනාශයේ ගොදුරු බවට පත් වුණා.

     

    ඒ වගේම යුද්ධය නිම විමෙන් පසු යළි ප්‍රතිසංධානය ඇති කොට තැළුණු හදවත් සුවපත් කරලීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග නොගැනීම නිසාත්, සමබර විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන නොයාම නිසාත්, අප ජාත්‍යන්තර වශයෙන් කොන් වෙන තත්වයකට පත් වුණා.

     

    අපට මේ පසුබිමෙක රටක් වශයෙන් ඉදිරියට යන්නට බැහැ. දේශපාලනමය වශයෙන් කුමන මතයක් දැරුවත් එය අපි සියලූ දෙනාම පිළිගන්නවා. අපි දේශීය වශයෙන් සමගිය, සහෝදරත්වය ශක්තිමත් කොට, මෛත්‍රිය මුල් කර ගත් ප්‍රතිසංධාන ක්‍රියාවලියක් මගින් බිඳුණු හදවත් සුවපත් කළ යුතුයි. ඒ අතරම ජාත්‍යන්තර වශයෙන් අප පත්වි සිටි හුදෙකලා තත්වයෙන් මිදී යළිත් ජාත්‍යන්තරයේ විශ්වාසය හා මිත්‍රත්වය දිනා ගත යුතුයි.

     

    ජිනීවා යෝජනාවලිය මගින් අද අපට ඒ සඳහා අවස්ථාව ලැබී තියෙනවා. ඒ නිසා අපි සියල්ලම එක් වී අපේ රට ඉහළට ඔසවා තැබීම මූලික අරමුණකර ගනිමින් මේ ව්‍යායාමයට එක් වෙමු.

     

    මෙහිදී අප යළිත් ලංකාව පිළිබඳ න්‍යාය පත්‍රය අපේ අතට ගත්තා. එසේ නම් අපි සියලූ දෙනා එකතු වී එය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න මේ අවස්ථාවේ සාකච්ඡා කළ යුතුව තිබෙනවා.

     

    අපේ රටේ සියළු ජනතාව එකට එකමුතු කරවන ව්‍යායාමයක්. අපේ රටේ ජාතික හා ආගමික සමගිය තහවුරු කරන ව්‍යායාමයක්. අපේ රටේ බිඳුණු හා තැළුණු හදවත් සුවපත් කරවන ව්‍යායාමයක්. මේ යෝජනා මා දකින්නේ එලෙසයි. අප මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කරලන ව්‍යායාමයක් ලෙස ද මා මෙය දකිනවා. මෙය ක්‍රෝධය හා වෛරය වෙනුවට මෛත්‍රිය හා දයාව පතුරවන ව්‍යායාමයක්. එසේ නම් එයට විරුද්ධ වන්නේ ඇයි?

     

    ඒ නිසා අපි මේ ව්‍යායාමය සාර්ථක කර ගැනීම සඳහා අලූත් ගමනකට මුල පුරමු. එතැනදී සාම්ප්‍රදායික දේශපාලනය පසෙක ලා රට වෙනුවෙන් අලූතින් හිතන්න කියා මම ඔබ සැමගෙන්ම ඉල්ලා සිටිනවා.

     

    සියළු ජන කොටස් සාමයෙන් සංහිදියාවෙන් අත්වැල් බැඳගන්නා සමාජයක් පිළිබඳව මේ රටේ ජනතාව බලාපොරොත්තු තබා තියෙනවා. එකිනෙකා අතර වෛරය වෙනුවට මෛත්‍රිය පතුරවන ක්‍රියාවලියක් පිළිබඳව මේ රටේ ජනතාව බලාපොරොත්තු තබා තියෙනවා. ගහ මරා ගන්නා, ඇන කොටා ගන්නා දේශපාලනයක් වෙනුවට, සහෝදරාත්මක දේශපාලන ක්‍රමයක් පිළිබඳව මේ රටේ ජනතාව බලාපොරොත්තු තබා තියෙනවා.

     

    රට ආපස්සට අදින ප්‍රතිපත්තියක් නොව, රට ඉදිරියට ගෙනියන වැඩ පිළිවෙලක් පිළිබඳව මේ රටේ ජනතාව බලාපොරොත්තු තබා තියෙනවා. මේ රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ මේ අවස්ථාවේ දී මේ ප්‍රශ්න විසදා ජනතාවගේ එදිනෙදා ප්‍රශ්න විසදා රැකියා ලබා දී ආදායම් වැඩි කර, නීතිය ස්ථාපිත කරන්න අපට හැකි වනු ඇති බවයි.

     

    මා ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලීමක් කරනවා. මේ ජනතා බලාපොරොත්තු බිඳ දමන්නට එපා. ජනතාවගේ මේ බලාපොරොත්තුවලට පිටු පාන්නට එපා.

     

    මේ රටේ ජනතාව සාම්ප්‍රදායික දේශපාලනය ප්‍රතිෙක්‍ෂ්ප කළේ ඔවුන් තුළ ඇති ඒ යහපත් බලාපොරොත්තුව නිසයි. ජනතාව එක් වරක් නොව, දෙවරක්ම ඒ කියන්නේ ජනාධිපතිවරණයේදීත්, මහ මැතිවරණයේදීත් - සාම්ප්‍රදායික දේශපාලනය ප්‍රතික්‍ෂ්ප කළා. පක්‍ෂ දේශපාලනයෙන් දෙපස බෙදී සිදු කරන වෛරවාදී දේශපාලනය වෙනුවට සම්මුතිවාදී දේශපාලනයක් ගැන ජනතාව සිය වරම ලබා දුන්නා.

     

    ජනවාරි මාසයේ ජනාධිපතිවරණයේදීත්, අගෝස්තු මාසයේ පාර්ලිමේන්තු මැතිවරණයේදීත් මේ රටේ ජනතාව අනුමත කළේ ඒ නව දේශපාලන සංස්කෘතියයි. සාම්ප්‍රදායික දේශපාලනය ප්‍රතිෙක්‍ෂ්ප කළ ජනතාව සම්මුතිවාදී දේශපාලනය ඉහළට ඔසවා තැබුවා.

     

    ජනතාව ප්‍රතිෙක්‍ෂ්ප කළ මාර්ගයක යනවා ද නැතිනම් ජනතාව අනුමත කළ නව මාර්ගයේ යනවාද කියා ගැඹුරින් සිතා බලන්න යැයි මම ඔබගෙන් ඉල්ලා සිටිනවා.

     

    ඒ නිසා මම ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ අලූත් දේශපාලන සංස්කෘතියක්, සම්මුතිවාදී පාලනයක් සහ නව දේශපාලන ගමනක් යන්නට එක්වන ලෙසයි. අපේ අරමුණ පුද්ගලික පළිගැනීම් හෝ වෛරය හෝ ක්‍රෝධය පතුරවාලීම නෙවෙයි. දඬුවමින් වරදකරුවන් මර්ධනය කිරීම නෙවෙයි. සාමයෙන්, මෛත්‍රියෙන්, දයාවෙන් සියළු ජන කොටස්වලට සාධාරණය ඉටු කරලීමයි. ගැටුමට මැදිවූ සියළු පාර්ශවයන්ගේ බිඳුණු හදවත් හා සිත් සුවපත් කරලීමයි. සිදුවූ වැරදි සොයා බලා, අවබෝධ කරගෙන අනාගතයේ එවැනි වැරදි සිදු නොවිමට ශක්තිමත් පදනමක් සකසා ගැනීමයි.

     

    ඒ නිසා අපි මුලින්ම රට ගැන හිතමු. තමන්ට පෙර රට ගැන හිතන්න. අපේ රටට ඉදිරියට යන්නට තියෙන මේ අවස්ථාව තම තමන්ගේ පුද්ගලික වාසි වලට යට කරන්න එපා කියා මම ඔබ සැමගෙන්ම ඉල්ලා සිටිනවා.

     

    ඒ නිසා තමයි අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ මේ අලූත් ගමන ජනවාරි 8 වැනි දා ආරම්භ කර, නැවතත් සැප්තැම්බර් මාසයේ ජනතාව වරම නැවතත් ලබා, එක්සත් ජාතික පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එකට එකතු වී අවුරුදු දෙකක් තුළ මේ ප්‍රශ්න විසඳීමට උත්සාහ කරන්නේ.

     

    මම මෙහි හොඳ පැත්තකුත් දකිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සුළු ජාතීන්ගේ ඡන්ද දිනා ගැනීමට ක්‍රියා කරන අතර එක්සත් ජාතික පක්‍ෂය දකුණේ, මධ්‍යම පන්තියේ ඡන්ද දිනා ගැනීමට ක්‍රියා කරමින් සිටිනවා.

     

    මෙය දේශපාලනික වශයෙන් හොද තත්ත්වයක්. අවසානයේ දී අපට දේශපාලන වශයෙන් මධ්‍යස්ථ තැනකට පැමිණීමට හැකි වේවි. ඉන් අනතුරුව සිදුවන්නේ පක්‍ෂ මාරු කිරීම මිස ප්‍රතිපත්ති මාරු කිරීම නොවෙයි. මේ යෝජනා පිළිබඳව සමහර අය විරුද්ධ වුණා. එහෙත් ජනාධිපති වරයා හා මා උත්සාහ ගන්නේ මේ සියලූ කරුණු කාරණා ව්‍යවස්ථාවට අනුකුලව සිදුකිරීමටයි. ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියේ සඳහන් වන පරිදි ෙනීත්යානුකඣලව පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවයි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පරිහරනය කරන බලතල සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කොට පිහිටුවන ලද හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලද නැතහොත් වෙනත් යම් නීතියක් ඇති කොට පිහිටුවන ලද අධිකරණය විනිශ්චය අධිකාර හා ආයතන මගින් පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ යුත්තේයෙ ජනතාවගේ අධිකරණ බලය අප ක්‍රියාත්මක කරන්නේ අපි ඇති කරන ආයතන වලිනුයි. අප ඊට පටහැනිව ක්‍රියා කරන්නේ නැහැ. ඒවා ඇති කිරීම සඳහා යෝජනා අපට ලබා දෙන්න. අන්තිමට අප නීති කෙටුම්පත් එකක්, දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරාම අන්තිම අවස්ථාව තිබෙන්නේ එතැනයි. ඒ නිසා අපට වුවමනා වුවත් අපට අවසාන තීරණය දෙන්න බැහැ. අපට දෙන්න වුවමනාවකුත් නැහැ. අවසානයේ දී අපි ක්‍රියා කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුවයි.

     

    අපේ මේ ආරක්‍ෂාව පිළිබඳව විශේෂයෙන්ම දිවංගත ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට අපි ස්තඣතිවන්ත විය යුතුයි. එතුමා මේ යෝජනාව ඉදිරිපත් කර පැවසුවේ ජනමත විචාරණයකින් තොරව මේ වගන්ති ඉවත් කළ නොහැකි බවයි. එවැනි පසුබිමක් තිබුණේ නැත්නම්, 1989 – 90 ජාත්‍යන්තර පරීක්‍ෂණ ඉල්ලීම් කළ අයට අද මේ රට යට වෙන බවත් මා සිහිපත් කරන්නට කැමතියි.

     

    අප ක්‍රියා කරන්නේ ව්‍යවස්ථාව අනුවයි. එයින් පිට ගිහින් නැහැ. විශේෂයෙන්ම මොටෝ නොගුචි මහතාට ලංකාවට එන්න කිව්වේ කවුද? ඒ සම්බන්ධ සම්පූර්ණ ලිපි ගොනුව මා ළග තිබෙනවා. එතුමාට එන්න කිව්වේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව ජී.එල්. පීරිස් ඇමැතිතුමායි. ඒත් එකක් කිව්වා. ජනවාරි 10 වැනිදා එන්න කිව්වා. මේ රට පාවා දෙන්න යන්නේ මෛත්‍රීපාල සිරිසේන යැයි ද, රනිල් වික්‍රමසිංහ දේශද්‍රෝහියා යැයි ද, චන්ඬිකා කුමාරතුංග තමයි සියල්ල කරන්නේ යැයි ද කියමින් ජනාධිපතිවරණයේ දී කෑ ගසා සියල්ල අවසන් වූ පසු නඩු ඇසීමට මේ රටට පැමිණෙන්නැයි කියනවා. කවුරුන් හෝ එය නැතැයි කියනවා නම් ෆයිල් එක පෙන්වන්නම්. ඔහුට එන්න කිව්වේ කවුද? ඔහු ඩෙස්මන් සිල්වා මහතා වගේ නීතීඥයෙක් ද? නෑ... ඔහු තමයි He was the in charge of the victim fund of the International criminal court.. මේවා නිකන් හොයා ගත්තේ නැහැ. He was special Prosecutor in the prosecutor office in Japan. මා කල් ගන්නේ නැහැ. නැතිනම් මෙතැන සම්පූර්ණ ලියකියවිලි තිබෙනවා, එන්න කිව්ව එක පවා. ඊට පස්සෙ සිදු වුණේ ආණ්ඩුව මාරු වූ නිසා ලංකාවේ අලූත් ආණ්ඩුව මෙය දැනගන්න කල් ගියා. මෙතැන කියනවා Prof. GL Peris requested by on 14th April 2014 for dominated Japanese expert.

     

    අනික මේ කොමිසම ආවත් කුමක්ද කළේ? මේක නිකම් කල් මැරුවේ නැහැ. මේක කියෙව්වොත් චැනල් 4 සිද්ධිය පිළිබඳ අධිකරණ පරීක්‍ෂණයක් අවශ්‍ය බව මෙහි කියනවා. එසේ නම් මේ කරන්නේ කුමක්ද? මේ කරන්නේ මහෙස්ත්‍රාත් උසාවියක වැඩකුයි. අපි දන්නේ නැතැයි කියමින් බබ්බු වගේ හැසිරෙනවා. මගේ මිත්‍ර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද දවල් පාර්ලිමේන්තුව අමතා මේ ගැන කියනවා නම් මා කැමතියි.

     

    ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර මැදිහත් වීමක් කරන ලෙස මුලින්ම ඉල්ලා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතායි. ඒ ඔහු විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස සිටිය දී, ඒ වගේම මෑත භාගයේ දී නැවතත් මැදිහත් වීම සඳහා පසුබිම සැලසුනේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ, තිරසාර දේශපාලන විසඳුමක් ඇති කිරීමට තිබෙන පොරොන්දු යටතේයි.

     

     

    දැන් සිදුවුණේ කුමක්ද? අපට විසඳීමට තිබෙන ප්‍රශ්නය කුමක්ද? 2005 අගෝස්තු මාසයේ අපේ විදේශ ඇමැති කදිරගාමර් මැතිතුමාව කොටි සංවිධානයෙන් ඝාතනය කළා. එය සිදු කර මාස 4 ක් යන්න ඉස්සෙල්ලා කොටි සංවිධානයට සල්ලි දුන්නා. සල්ලා දී ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරණයේ දී උතුරේ ඡන්ද දායකයින් ඡන්දය ලබා දෙන එක නවත්වලා තමයි ජනාධිපතිවරණය ජයගත්තේ. මැරුණු එකයි, මේකයි අතර සම්බන්ධකමක් තිබෙනවාද? නැහැ කියන්න බැහැ. අපි දන්නවා එල්.ටී.ටී.ඊ.ය මැරූ බව.

     

    නැහැ කියන්න බැහැ අපි දන්නවානේ එල්.ටී.ටී.ඊ. මැරුවා කියලා. ඒත් අපි දන්නවා මේ සාකච්ඡාව සඳහා සියලූ දෙනා එක්වූයේ අරලියගහ මන්දිරයේ කියා. ඉතින් ඔය මිනිස්සුන්ට ද සල්ලි දුන්නේ. අපිට ඕනෙද රට භාර දෙන්න. මේවා සත්‍ය කොමිසමේදී හෙළිරව් වෙයි කියලා බය ද? අන්න ඒකයි අපි අහන්නේ.

     

    අන්න එහෙනම් කමක් නැහැ එහෙනම් බය වෙන්න එපා ඒක පවත්වමු අපි. අපි අහමු. ඊළඟට මොකක් ද වුණේ. එල්.ටී.ටී.ඊ. එක ආවට පස්සේ එල්.ටී.ටී.ඊ.යට විරුද්ධව ක්‍රියා කළේ නැහැ. මාවිල් ආරු අල්ල ගත්තේ ඇයි? ඒගොල්ලෝ හිතුවේ අපිට මෙකෙන් බේරෙන්න පුළුවන් කියලා. ඒත් ආණ්ඩුවේ ඇතුලේ අර්බුදයක් වුණා. එක පැත්තකින් හෙළ උරුමයේ මන්ත්‍රීතුමන්ලායි, තව මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුයි, ඊළඟට යුද්ධ හමුදාවයි ඒකට විරුද්ධ වෙලා. අපේ රතන හාමුදුරුවෝ ගිහින් එතන පටන් ගත්තා උද්ඝෝෂණයක් කරන්න. හිතුවේ නැති විදිහට තමයි යුද්ධය පටන් ගත්තේ. ඕකනේ ඇත්ත. දුටුගැමුණු රජ්ජුරුවෝ වගේ බුත්තලට ගිහින් විජිතමුණි අරගෙන ගියේ නැහැ. අහම්බෙන් ඇති වුණ යුද්ධයක්.

     

    ඊළඟට මොකක් ද මේ යුද්ධය කියන්නේ. පෙබරවාරි මාසයේ එල්.ටී.ටී.ඊ.ය තීරණය කළා කිලිනොච්චි වැටුණායින් පස්සේ අපි ලක්‍ෂ 3 ක් අරගෙන යනවා කියලා මුලතිව්වලට. ඒ ගොල්ලෝ ප්‍රාණඇපකරුවන් අරගෙන ගියේ නැත්නම් මේ ප්‍රශ්නය මෙච්චර දුරට උග්‍රවෙන්නේ නැහැ. ඒක එක හේතුවක්. දෙවැනි හේතුව මාර්තු වන විට ඉන්දියාවේ මහ මැතිවරණයෙන් භාරතීය ජනතා පක්‍ෂය ජයග්‍රහණය කොට,   ජයලලිතා සමග ආණ්ඩුවක් ඇති කරයි කියලා ඔවුන් හිතුවා. ඒ නිසා මෙහෙන් නියෝග දුන්නා හමුදාවට මේක කඩිනමින් ඉවර කරන්න කියලා. ඉන්දියන් ඡන්දයට ඉස්සෙල්ලා ඉවර කරන්න කියලා.

     

    හමුදාව ඒ අනුව ක්‍රියා කළා. ඊට පස්සේ ආවේ සුදු කොඩි සිද්ධිය. දැන් මම එකක් අහන්න කැමැතියි. මෙතැන සාමාන්‍ය මතයක් තිබෙනවා. අපිත් එය පිළිගන්නවා. එල්.ටී.ටී.ඊ.ය සුදු කොඩි අරන් එද්දී ඒවෙලේ එතැන සිටි අනදෙන නිලධාරි තීරණය කළ යුතුයි, මේ එන අය පිළිගන්නවාද? එහෙමත් නැත්නම් මේ කරන්නේ බොරුවක් ද කියලා. නමුත් නියෝගය දුන්නේ එතැනින් නෙවෙයි. නියෝගය දන්නේ කොළóන්. ඇයි එහෙම වුණේ?

     

    කාවද බේරන්න ඕන වුණේ. අර 2005 නොවැම්බර් මාසේ ඩීල් එක දැම්ම පූලිදේවන්ව බේරන්න වුවමනා වුණා. අපි ඇත්ත කතා කරමු. පුලිදේවන්ව බේරන්න කවුද සල්ලි ගත්තේ. කවුද ජනාධිපතිවරණයේ ඩීල් එක දැම්මේ. ඒ ගැන දන්නා අය මෙතැන ඉන්නවා ටී.එන්.ඒ. මන්ත්‍රීවරුනුත් දන්නවා අපිත් දන්නවා. පුලිදේවන් බේරන්න. මෙතැන අහිංසක මිනිස්සු ගැන කතා කරනවා. ඒත් ඇත්ත මොකද්ද? ඇයි පුලිදේවන් බේරගන්නේ. මම කැමැති නැහැ කවුරුවත් මැරුණට. ඒත් මේ ද්‍රවිඩ ජනතාවගේ මේ විනාශයට පුලිදේවන් වගකියන්න ඕන. ඒ වෙනුවෙන් අපි කඳුළු හලන්නේ නැහැ. හමුදාව එතැන සිරකර තැබීමට අවශ්‍ය නැහැ. කවුද නියෝග දුන්නේ කියලා අපි දන්නවා පුලිදේවන් හිටියේ නැත්නම් මේ අයට ආණ්ඩු බලය ගන්නට බැහැ. ඉතින් එයාව බේරන්න ගිහින් තමයි මේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කර ගත්තෙ සුදු කොඩි දාගෙන එන මිනිසා ඇත්ත වශයෙන් භාරවෙන්න එනවා ද බොරුකරනවා ද කියලා තීරණය කිරීම හමුදාවේ කාර්ය භාරයක්. ඇත්ත වශයෙන් එය හොඳ යෝජනාවක්. ඒ නිසා ඊට පස්සේ මොකක් ද කළේ.

     

    ඒ ඔක්කොම කළාට පස්සේ එක්සත් ජාතින්ගේ සංගමයේ මහලේකම්වරයා සමග එක්වී ප්‍රකාශ කර සිටියේ දීර්ඝ කාලීන සමාජ හා ආර්ථික සංවර්ධනය සදහා සියලූ ජනතාවගේ දුක්ගැනවිලි සලකා බලා ක්‍රියාත්මක කරන බවයි. ඉන් අනතුරුව නැවතත් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගොස් තවත් යෝජනාවක් ඉදිරිපත් කර ස්ථිර කරන බව සනාථ කළා.

     

    ඉන් අනතුරුව දරුස්මාන් කමිටුවට ගොස් පවසා සිටියේ අපේ හමුදාව නීතිය කඩා තිබේනම් ඔවුන්ට විරුද්ධව හමුදා නීතිය නැතිනම් සිවිල් නීතිය ක්‍රියාත්මක කරන බවයි. අවසානයේදී සිදුවූයේ අපේ හමුදාව අතරමං කිරීමයි. දැන් හමුදාව ගැන හඬනවා. හමුදාවට සිදුකළේ කුමක්ද? හමුදාවට නායකත්වය ලබාදී ජයග්‍රහණය කළ සරත් ෆොන්සේකා මහතාව හිරේට දැම්මා. ඔහු මන්ත්‍රිවරයෙක්. ඔහුව ඇදගෙන ගිය ආකාරය අප දුටුවා. සරත් ෆොන්සේකා මහතාව අමතක කරන්න. මා ඇසින් දුටු තවත් සිද්ධියක් ගැන පවසන්නම්. සරත් ෆොන්සේකා මහතා සිනමන් ලේක් හෝටලයෙන් පිටවී යනවිට එතුමාට ආරක්‍ෂාව ලබාදෙන මෙන් මැතිවරණ කොමසාරිස්වරයාද පවසා සිටියදී මිලිටර් පොලිසියේ කණ්ඩායම දෙපැත්තේ සිටි අයව එළියට රැගෙන ගොස් යුනිෆෝම් පිටම සිත්තම්පලම් මාවතේ දණගස්වා තබා සිටියා.

     

    ඔවුන් කළ වරද කුමක්ද? ඔවුන් යුධ කළා. වෙඩි කෑවා. එනම් හමුදාව පිළිබදව කතා කිරීමට මෙතනට පැමිණෙන්ට එපා. මුලින්ම ගොස් ඔවුන්ගෙන් සමාව ඉල්ලන්න. සමාව ඉල්ලූවායින් පසුව මෙම ස්ථානයට පැමිණ ඔවුන් ගැන කතා කරන්න. ඔවුන්ටත් යුක්තිය ඉටු කරන්න. ද්‍රවිඩ ජනතාවටත් යුක්තිය ඉටු කරන්න. නීතිය සැමට සාධාරණයි. කෙසේ වෙතත් අප සත්‍යය දැන ගත යුතුයි. අපේ මේ ව්‍යායාමය සියලූ දේවලින් ගොඩ යෑමටයි. අපට අවශ්‍ය නැහැ නඩු පිට නඩු ඇසීමට. මේ සියලූ දෙය අමතක කර වැටුණු වළෙන් ගොඩ එන්නට උත්සාහ දරමු.

     

    ඒ සදහා අප සියලූ දෙනාම එක්වෙමු. අපේ රට දේශීය වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් ඔසවා තබන්නට උත්සාහ කරමු. මා නැවත නැවතත් ඔබෙන් ඉල්ලා සිටින්නේ සම්ප්‍රදායික පටු දේශපාලනයෙන් මිදි මේ අවස්ථාවේදී මුලින්ම රට ගැන සිතා කටයුතු කරන ලෙසයි. පසුගිය කාලයේ සිදුවූ යුද්ධ නිසා වැරදි නිවැරදි කරගෙන යහපත් අනාගතයක් කරා ඉදිරියට යෑමට අපි දේශීය යාන්ත්‍රණයක් සකස් කරනවා. එමගින් අපි සත්‍යය ගවේශණය කරනවා.

     

    අද මේ යාන්ත්‍රණයට විරුද්ධව කෑ ගසන්නේ කවුද? එල්ටීටිඊ සංවිධානයට පක්‍ෂ දෙමළ ඩයස් පෝරාව, තමිල්නාඩුවේ අන්තවාදී දෙමළ සන්ධාන, ශ්‍රී ලංකාවේ අන්තවාදී දෙමළ සංවිධාන හා දේශපේ‍ර්මීන් කියනා කොළඹකණ්ඩායමයි. මේ අය තමයි කදිර්ගාමර් මහතාගේ ඝාතනයෙන් පසු එකට එක්වූ කණ්ඩායම. මේ අය තමා අද මේ යෝජනාවට විරුද්ධ වන්නේ. මේ සියලූ දෙනාගේම අරමුණු එකයි.

     

    රට දෙකඩ කොට හෝ තමන්ගේ වරප්‍රසාද රැකගැනීම ඔහුන්ගේ අරමුණයි. ජනවාරි මාසයේදීත් අගෝස්තු මාසයේදීත් අප ජනතාවගේ වරම දිනා ගත්තේ සත්‍ය ප්‍රකාශ කරමිනුයි. නව දේශපාලන සංස්කෘතිය ජනතාවට තහවුරු කිරිමෙනුයි. අප එතැන් පටන් ගත් ගමන කුමන බාධක පැමිණියත් නවත්තන්නේ නැහැ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් මේ ගමන ඉදිරියට ගෙන යනවා. විශේෂයෙන්ම මේ යාන්ත්‍රණය අප විසින්ම අපි සකස් කරනවා. ඒ සඳහා ඔබගේ වටිනා අදහස් ලබා දෙන්න.

     

    අලූත් දෙයක් තමයි ආගමික නායකයන්ගෙන් සමන්විත කවුන්සිලය. එතුමන්ලාගේ අදහසුත් ලබාගෙන මේ ප්‍රශ්නය විසදන්නේ කෙසේද කියා අප බැලිය යුතුයි. සිංහලෙන් පවසන්නේ කරුණා සභාව කියයි. ඊයේ මා හට පුද්ගලයෙක් ඊට වඩා හොඳ වචනයක් තිබෙන බව පැවසුවා. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා රන්මතුදූවේ චිත්‍රපටයේ ගලන ගඟේ ජිවිතේ ගීතයට යොදා ගත් දයාලුයන වචනය යි. එහෙනම් මේ සභාව අප හඳුන්වාන්නේ දයාලුසභාව යනුයෙනුයි. මේ සභාව සමන්විත වන්නේ ආගමික නායකයින්ගෙන්. වැරදි කළ නොකළ සියලූ දෙනාටම කරුණාව, දයාව ක්‍රමවේදය පිළිබදව නිර්දේශ කරලීම මේ සභාවේ කාර්ය භාරයයි.

     

    එමනිසා මේ සඳහා සම්බන්ධ වෙන්නැයි මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද ප්‍රකාශ කරනවා. එය හොඳ ක්‍රියාවක්. මම පවසන දේ වැරදි නම් තේරුම් කාරක සභාවක් පිහිටුවන මෙන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින්න. අපට කිසිදු ප්‍රශ්නයක් නැහැ. මේ සියලූ දේ වසන් කරන්නට එපා. මා එකක් ඔබෙන් ඉල්ලා සිටින්නට්. උගුඩුවාගේ දේශපාලනය අත් අරින්න. උගුඩුවා සිටින්නේ කළුවරේ. එළියට පැමිණියායින් පසු ආලෝකය සමග ඔහුට දේශපාලනය කරන්නට බැහැ.

     

    එම නිසා උගුඩුවාගේ දේශපාලනය අත්හැර අපත් සමග අත්වැල් බැදගෙන ප්‍රඡාතන්ත්‍රවාදී සමාජයක්, ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරමි කියා ප්‍රකාශ කරමින් මගේ කථාව අවසන් කරනවා.‘

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya