මාර්තු 26, 2019

tami eng youtube google twitter facebook

    විදේශ අමාත්‍යවරයා රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායම අමතා කරන ලද කථාව

    අගෝස්තු 31, 2015

    විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගියදා (28) කොළඹ නගරය තුළ පදනම් වූ රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායම අමතා කළ කතාව පහත පරිදි වේ.

    “මෙම සතිය ආරම්භයේ විදේශ අමාත්‍ය ධුරයෙහි  දිව්රුම් දීමෙන් අනතුරුව අද දින ඔබ සියළු දෙනා මෙම ජනරජ ගොඩනැගිල්ලට කැඳවීමට ලැබීම පිළිබඳව මා බෙහෙවින් සතුටට පත්වෙමි.

     

    2015 මැයි 12  වන දින අප අවසන් වතාවට හමු වූ අවස්ථාවේ එබ විසින් අසන ලද පැනයක් මෙම අවස්ථාවේ මගේ සිහියට නැගෙනවා. එනම්, පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන්නේ කවදාද යන්නයි. එයට පිළිතුරු වශයෙන් මා කියා සිටියේ එය දන්නේ දෙවියන් වහන්සේ සහ ජනාධිපතිවරයා පමණක් බවයි.

     

    ඔබ දන්නා පරිදි එතැන් පටන් මේ දක්වා බොහෝ ‍දේ සිදුවිය.

     

    ජූනි 26 වන දින පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අතර පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු 17 වන දිනට නියම විය. ඒ අනුව, එතැන් පටන් අගොස්තු 17 දක්වා කාලය තුල සිදුවූ දෑ පිළිබඳ අප මෙන්ම ඔබ සියළු දෙනාත් දැඩි විමසිල්ලෙන් සිටින්නට ඇතැයි කියා මා විශ්වාස කරනවා.

     

    ශ්‍රී ලංකාව තුල මින් පෙර පැවති මැතිවරණ දැක ඇති ඔබ සමහරක් දෙනා විසින් එම මැතිවරණවලදී ශ්‍රී ලංකාව තුල පැවති තත්වය හා මෙවර මැතිවරණය පැවැත්වූ අකාරය අතර වෙනස අත්දකින්නට ඇතැයි මා සිතනවා.

     

    මූලික නිරීක්ෂණ වලදී මැතිවරණ නිරීක්ෂකයන් විසින් පැවසූ කරුණු පහත පරිදි වේ.

     

     - මෙවර තත්වය වඩාත් සන්සුන් හා සාමකාමී විය. මැතිවරණ නීති හා මාර්ගෝපදේශ අකුරටම පිලිපැදීම සිදුවිය;


     - පොලීසියේ ප්‍රායෝගික හා සාධාරණ ප්‍රවේශය ප්‍රශංසනීයයි;


     - මැතිවරණය හා සම්බන්ධ මාධ්‍ය වටපිටාව තරගකල සියළු අපේකෂකයන් හට සාධාරණ බව දක්නට ලැබුණි;


     - මැතිවරණ දිනයේදී ඡන්දදායකයන් හට තම ඡන්දය නිද‍හසේ භාවිතා කල හැකි සාමකාමී වතාවරණයක් පැවතිනි;


     - මැතිවරණ කාර්යමණ්ඩලය විසින් සමස්ත ඡන්ද ක්‍රියාවලිය කාර්යක්ෂමව හා විනිවිදභාවයෙන් යුතුව මෙහෙයවනු ලැබීය;


     - පොලීසිය ඡන්දය ගණන් කරන මධ්‍යස්ථාන අවට ආරක්ෂාව සම්බන්ධයෙන් සුභවාදීව කටයුතු කල අතර ඡන්ද නීති කඩකිරීම් පිළිබඳ සැලකිලිමත් වූහ;


     - ඡන්ද හා මනාප ඡන්ද ගණන්කිරීම විනිවිදභාවයෙන් යුතුව සිදුවූ අතර ප්‍රතිඵල එසැනින් මාධ්‍ය හා මහජනතාව වෙත නිකුත් කරන ලදි.

     

    අවසන් වශයෙන්, මැතිවරණය සාධාරණව පැවැත්වු බවත්, ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක ලක්ෂණ එහි අන්තර්ගත වූ බවත්, ප්‍රතිඵලය රටේ ජනතාවගේ සැබෑ ජනමතය පිළිඹිඹු කල බවත් ඔවුන්‍ පැවසූහ.

     

    සම්භාවනීය අමුත්තනි,
    අප මෙම මැතිවරණය හා එය පැවැත්වූ ආකාරය ජනතාවගේ ජයග්‍රහනයක් වශයෙන් සලකන්නෙමු. මෙය යහපාලනය, නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනවාරි 8 වන දින මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිධූරයට පත්කරවීම සඳහා ඇරඹි වැදගත් හා තීරණාත්මක ගමනේ පියවරක් වශයෙන් අපි දකිමු.

     

    මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල සිට ජන්දය ප්‍රකාශ කිරීම දක්වා වූ සමස්ත මැතිවරණ ක්‍රියාවලිය සඳහා අප්‍රේල් මස දී සම්මත වූ 19 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රධාන වශයෙන්ම උපකාර විය. රජයේ මැදිහත්වීමෙන් තොරවීම හා මැතිවරණ කොමසාරිස් ගේ උපදෙස් පරිදි නිදහස් සාධාරණ මැතිවරණයක් හා ජනමත විචාරණයක් පැවැත්වීම සහතික කිරීම සඳහා වූ ජනාධිපතිවරයාගේ වගකීම දැක්වෙන 19 වන වශවස්ථා සංශෝධනයේ 33 5 (ඩී) වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම යන කාරණා දෙකම මෙම ප්‍රතිඵලය ලබාගැනීම සඳහා ඉවහල් විය.

     

    මෙම මැතිවරණ පැවැත්වූ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව ප්‍රගතශීලී ප්‍රතිසංස්කරණ සඳහා සහය දක්වන බවට වූ අපගේ විශ්වාසය තහවුරු විය. එමගින් පැහැදිලි වන්නේ යහපාලන භාවිතයන් හා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීම, නීතියේ ආධිපත්‍යයට ගරුකිරීම, ව්‍යුහාත්මක හා නීතිමය ප්‍රතිසංස්කරණ සඳහා ඉඩලබාදීම ආදී සියළු පියවර අප ජනතාව විසින් අගය කරන බවයි.

     

    අගෝස්තු 17 වන දින මැතිවරණ ජයග්‍රහනය, රාජපක්ෂ රෙජීමය විසින් අනුගමනය කල අන්තවාදී දේශපාලනයට එරෙහිව මධ්‍යස්ථ දේශපාලනයේ ජයග්‍රහණය සනිටුහන් කරයි.

     

    මෛත්‍රිපාල සිරිසේන ජනපතිතුමාගේ හා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ රජයේ පරිපාලන ප්‍රවේශය හා ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීමේ පොදු දැක්ම සඳහා වූ සිය විශ්වාසය ජනතාව විසින් මෙම මැතිවරණයේ දී ඉතා ‍පැහැදිලිව ප්‍රකාශ විය.

     

    ඒ අනුව, තමා සමඟ මෙන්ම ලෝකය සමඟ ද සහයෝගයෙන් කටයුතු හැකි සැමදෙනා සමඟ මිත්‍රහීලිව හා හොඳහිත පවත්වාගෙන යාම පිළිබඳ විශ්වාස කරන ජාත්‍යන්තර සංවිධාන ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන සංවාද හා සාකච්ඡා ආදී සාමූහික ප්‍රවේශ ඔස්සේ හවුල්කරුවන් සමඟ තොරතුරු හුවමාරු කරගනිමින් කටයුතු කරන, රටේ සියළු ජාතීන්ගේ අවශ්‍යතා සුරකින පරිදි සාකච්ඡා මාර්ගයෙන් ගන්නා තීරණ ඔස්සේ සම්මුතීන් ගොඩනගන ජාතියක් වශයෙන් සිතා කටයුතු කිරීම නව රජයේ ප්‍රතිපත්තිය වේ. 

     

    අප රටට පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාවට ද  වැදගත් වන කරුණු සමබන්ධයෙන් කටයුතු කිරීමේදී අපගේ ද්වීපාර්ශවීය හා බහුපාර්ශවීය හවුල්කරුවන් සමඟ ඉහත සඳහන් කල ආකාරයට කටයුතු කිරීමට ප බලාපොරොත්තු වෙමු.

     

    ජාත්‍යන්තර කතිකාවන්හිදී හා පොදු යහපත උදෙසා සම්මුතීන් සැකසීමේ ලා එක්සත් ජාතීන්ගේ හා අනෙකුත් බහුපාර්ශ්වීය ආයතන වල වැදගත් භූමිකාව අප විසින් සෑම විටකදීම අගය කරන්නෙමු.

     

    අපගේ සමස්ත ජනතාවට ජීවත්වීම සඳහා ස්ථාවර හා සුරක්ෂිත වටපිටාවක් සැකසීම හා තිරසාර ආර්ථික සෞභාග්‍යය ලඟාකිරීම වෙනුවෙන් අපගේ සියළු පාර්ශවකරැවන් සමඟ සමීපව කටයුතු කිරීමට අප අදහස් කරන්නෙමු.

     

    සම්භාවනීය අමුත්තනි,
    පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයත්, යහපාලනය උදෙසා වූ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ ජයග්‍රහණයත් සමඟ සැපතැම්බර් මස 1 වන දින නව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. ජාතික නෙහොත් එකමුතු ආණ්ඩුවක් වශයෙන් අප විසින් හඳුන්වන ආකාරයේ කැබිනට් මණ්ඩලයක් එහිදී දැකගත හැකි වනු ඇත.

     

    ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ මෙම නව රජය විසින් නිදහ‍සින් පසු අප රට තුල නිර්මාණය වූ කෙටිකාලීන දේශපාලන වාසි තකා රටේ ජනතාවගේ දිගුකාලින අවශ්‍යතා අමතක කරමින් ප‍ටු ගැටුම්කාරී පිළිවෙතක් අනුගමනය කිරීමේ අදූරදර්ශී දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට නියමිතය.

     

    ඒ අනුව, යෝජිත ජාතික ආණ්ඩුව විසින් ජාතික ප්‍රතිපත්ති සැකසීම හා සිවිල් හා දේශපාලන අයිතීන් පමණක් නොව ආර්ථික, සමාජයීය හා සංස්කෘතික අයිතීන් ද සැලකිල්ලට ගැනෙන හිමිකම් පනතක් ද ඇතුලත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අවශ්‍ය වන ප්‍රතිපාදන වලින් සමන්විත වැදගත් නීති සම්පාදනය කිරීම තහවුරු කරනු ඇත. මෙම ව්‍යවස්තාව මගින් සියළු පුරවැසියන්ගේ හා ප්‍රජාවගේ අවශ්‍යතා තහවුරු කෙරෙනු ඇත් අතර තමන් ජීවත් වන ප්‍රදේශය සම්බන්ධ තීරණ ගැනීමේ දී ඒ සඳහා පොදු ජනතාවට වැඩි අවස්ථාවක් ලබාදෙනු ඇත. මෙවන් ක්‍රියාමාර්ග තුලින් අප අපේක්ෂා කරනනේ ජනතාවට වඩාත් වගකියන රජයක් මෙරට තුල නිර්මාණය කිරීමටයි. සංහිඳියාව හා ස්ථීරසාර සාමය ඇතිකරනු වස් නීතියේ ආධිපත්‍යය තහවුරු කරන මැතිවරණ ප්‍රතිසංස්කරණ  හා ශක්තිමත් පාර්ලිමේන්තුවක් සහිත මෙවන් ව්‍යවස්ථාවක් අත්‍යවශ්‍ය වේ.

     

    දකුණේ ඇතිවූ කැරලි කෝලාහල හා උතුරේ පැවති ගැටළු හරහා නිර්මාණය වූ ත්‍රස්තවාදය තුලින් අතීතයේ පැවති අවාසනාවන්ත තත්වය කරා නැවතත් යා නොදී සියළු පුරවැසියන් හට තමන් සමාන අයිතිවාසිකම් සහිත සමාන හවුල්කරුවන් බව හැඟෙන පරිදි ක්‍රියාකිරීමේ වැදගත්කම ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මනාව අවබෝධකරගෙන සිටිති. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ පරිදි ගැටුම් සඳහා පාදක වූ මූලික හේතු සෙවීම සඳහා ඔවුන් විසින් ස්ථීර වශයෙන්ම ක්‍රියා කරනු ඇත.

    සම්භාවනීය අමුත්තනි


    මෙම අවස්ථාවේදී මාධ්‍ය අවධානය දිනාගත් හා නිරන්තරයෙන් කථාබහට ලක්වෙන කරුණක් මා හට සිහිපත් වේ. එනම් එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් කොමිසම හා මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස්වරයා සමඟ ශ්‍රී ලංකාවේ සබඳතාවය පිළිබඳවය.

     

    ඔබ සියළු දෙනා හොඳින් දන්නා කාරණයක් වනුයේ නිදහසෙන් පසු බොහෝ කලක් ගතවන තුරු ශ්‍රී ලංකාව එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තරය තුල වැදගත් සාමාජිකයකු වශයෙන් කටයුතු කල බවයි. වසර 60 කට පෙර 1955 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලැබීමේ සිට අප රට එක්සත් ජාතීන්ගේ සම්මුති සැකසීමේ ක්‍රියාවලීන් ඇතුළු වැදගත් ක්‍රියවලීන් රැසකට දායක වී ඇත. එමෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හා මහා මණ්ඩලය ඇතුළු එක්සත් ජාතීන්ගේ වැදගත් සමුළු වල මුලසුන ද ශ්‍රී ලාංකිකයන් විසින් දරා ඇත.

     

    නමුත් පසුගිය වසර කිහිපය තුල ශ්‍රී ලංකාව මෙම සහභාගිත්ව ප්‍රවේශයෙන් බැහැර වී කටයුතු කරනු දක්නට ලැබිණි. විශේෂයෙන්ම 2009 මැයි මාසයෙන් පසුව අප රට හා එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර පැවති මෙම සබඳතාවය ගැටුම්කාරී මාවතකට අවතීර්ණ විය.

     

    නමුත් ඔබ දන්නා පරිදි ජනවාරි 8 වන දින ඇරඹි දේශපාලන වෙනසත් සමඟ නැවතත් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම අරඹා ඇත.

     

    මෙවන් පසුබිමක් තුල ජනවාරි මාසයේ දී වැඩ භාරගැනීමෙන් අනතුරුව මම පළමුවෙන්ම එක්සත් ජාතීන්ගේ මහ ලේකම් හා මානව හිමිකම් කොමසාරිස්වරයා සමඟ නැවත සබඳතා ගොඩනගා ගැනීමටත් අපගේ ද්වීපාර්ශවීය සහකරුවන් සමඟ සබඳතා තරකරගැනීමට අවශ්‍ය කටයුතු කලෙමි.

     

    පෙබරවාර් මස 13 වන දා නිව්යෝක් නුවරදී එක්සත් ජාතීන්ගෙන් මහ ලේකම්වරයා හමුවීමෙන් අනතරුව ඔහු විසින් අපගේ සාකචඡා තවදුරටත් ඉදිරියට ගෙන යාමේ පියවරක් වශයෙන් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා පෙබරවාරි මස අග දී ශ්‍රී ලංකාවට පිටත් කරනු ලැබීය. මෙම සංචාරයේ දී ඔහු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද හමු විය.

     

    ඔහුගේ සංචාරය අවසානයේ ඔහු විසින් මාධය අමතා ප්‍රකාශ කරන ලද්දේ, “ශ්‍රී ලංකාව විසින් ඉල්ලූ පරිදි තම සාමසාධන අරමුදල හා ‍අනෙකුත් පහසුකම් හරහා ශ්‍රී ලංකාවේ වගවීමේ හා ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය පූර්ණ සහය ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කැප වී සිටිනවා. නමුත් පළමුව පොදු අනාගතයක් උදෙසා අතීතයේ ගැටළු විසඳාගත හැකි මාර්ගය සොයාගැනිම ශ්‍රී ලාංකිකයන් විසින් සිදුකල යුතුයි” යනුවෙනි.

     

    ඔබ සියළු දෙනා දන්නා පරිදි 2009 දි යුදුධය අවසන් වීමෙන් පසු පසුගිය රජය විසින් වැදගත් පියවර දෙකක් ගන්නා ලදි.

     

    පළමුව මැයි මස එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය අවසානයේ දී මේ රටේ සියළු ජනතාව වෙනුවෙන් අවශ්‍ය වගවීමේ ක්‍රියාවලිය ඇතුළු අත්‍යවශ්‍ය පියවර ගන්නා බවට රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය  ඒකාබද්ධ ප්‍රකාශයක් කරන ලදි.

     

    ඉන් අනතුරුව එළැඹි මැයි මස 27 වනදින මානව හිමිකම් ප්‍රවර්ධනයේ හා ආරක්ෂා කිරීමේ ලා ශ්‍රී ලංකාවට සහය වීම යනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව විසින් යෝජනාවක් ගෙන එන ලදි. මෙය කවුන්සිලය විසින් පිළිගත් අතර රජය හා එක්සත් ජාතීන් විසින් පිලිගත් ඒකාබද්ධ ප්‍රකාශය ක්‍රියාවට නැංවීම ආදී පියවර මාලාවක් මෙම යෝජනාවය ඇතුලත් විය.

     

    අනතුරුව රජය විසින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම පිහිටුවන ලද අතර එමගින් රජය විසින් අනුගමනය කල යුතු නිර්දේශ මාලාවක් ඉදිරිපත් කරන ලදි.

     

    නමුත් පසුගිය රජය විසින් දේශීය වශයෙන් තම ජනතාවට වූ පොරෝන්දු ඉටු නොකිරීම සහ තම ජනතාව වෙත ඉටුවිය යුතු යුතුකම් පැහැර හැරීම, ජාත්‍යන්තර ප්‍රජාවට වූ පෙරොන්දු අමතක කිරීම හා රටතුල නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටීම‍ට ඉඩහැරීම නිසා 2014 මාර්තු මස දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා යෝජනාවක් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත විය.

     

    කෙසේ වුවුද මෙම පසුගිය රජයේ තම ජනතාවට ඉටුවිය යුතු යුතුකම් ඉටුකිරීමේ ලා අපොහොසත් වීම, 2015 ජනවාරි 8 වන දින මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නව රජය බලයට පත්වීමත් සමඟ වෙනස් කිරීමට හැකිවිය.

     

    මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 93 වන වගන්තිය යටතේ පොදු ස්වාධීන දේශීය අධිකරණ යාන්ත්‍රණයක් යටතේ වගවීම සම්බන්ධ කාරණා පිළිබඳ අවශ්‍ය කටයුතු කිරීන බව පැහැදිලිව සඳහන් කර ඇත.

     

    2015 පෙබරවාරි 4 වනදා සාම ප්‍රකාශනය මගින් ද අතීත සිදුවීම් නැවත ඇති නොවීම සඳහා තමන් වගබලා ගන්නා බැව් රජය විසින් ජනතාවට පොරොන්දු වී ඇත. 

     

    ස්ථිරසාර සාමයක් හා සෞභාග්‍ය උදෙසා සංහිඳියාවේ ඇති වැදගත්කම ජනපතිතුමා, අගමැතිතුමා ඇතුළු රජය විසින් අවස්ථා ගණනාවකදී පෙන්වා දී ඇත. ජනපතිතුමා මෙහිලා අවධාරණය කර ඇත්තේ අප හමුවේ ඇති ප්‍රධාන අභියෝගය නම් ජාතික සංහිඳියා රාමුවක් සඳහා උතුරේ සහ දකුණේ ජනතාවගේ හදවත් යා කිරීම බවයි. 2015 මැයි 19 වන දින පැවති සන්නද්ධ හමුදා දින සැමරුමේ දී ජනපතිතුමා පැහැදිලි කර සිටියේ සත්‍යය සෙවීම, සාධාරණය ඉෂ්ඨ කිරීම, සියළු ප්‍රජාව අතර බිය, සැකය හා අවිශ්වාසය තුරන්කිරීම හා ඔවුන් අතර විශ්වාසය ගොඩනැගීම ආදී ගුණාංග සංහිඳියාව තුල අන්තර්ගත වන බවයි.

     

    ජනවාරි 8 වන දින සිට උතුරු හා නැගෙනහිර පළාත් වල සිවිල් පරිපාලනය ශක්තිමත් කිරීම, මුල් අයිතිකරුවන් සඳහා ඔවුන්ගේ ඉඩම් නැවත ලබා දීම, අභ්‍යන්තර වශයෙන් අනාථ වූවන් නැවත පදිංචිකිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම, එක්සත් ජාතීන්ගේ සාම සාධන අරමුදල හා මානව හිමිකම් කොමසාරිස් සමඟ කටයුතු කිරීම ඇතළු පියවර ගණනාවක් නව රජය විසින් ගෙන තිබේ.

     

    ප්‍රතිසන්ධානය සඳහා යම් කාලයක් ගතවනු ඇත. සත්‍යය ගවේශනය, සාධාරණය ඉෂ්ඨකිරීම, නැවත ගොඩනැගීම, යළි ඇතිවීම වලක්වාලීම ආදී පුළුල් වූ ක්‍රියාවලීන් ඊට ඇතුලත් වේ. එමෙන්ම හිමිකම් තහවුරු කිරීම, දිගුකාලීන තිරසාරභාවය සහතික කිරීම හා සියළු ප්‍රජාවනගේ දුක් ගැනවිලි සඳහා ඇහුම්කන් දීම තහවුරු කිරීම සඳහා උපදේශනය ලබාගැනීම ආදී වැදගත් ලක්ෂණ ද ඊට ඇතුලත් වේ. එබැවින් අප විසින් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන යාන්ත්‍රණය පුළුල් උපදේශන යාන්ත්‍රණයක් හරහා සිදු විය යුතුය.

     

    වගවීම හා සත්‍ය ගවේශණය අප සමාජයේ ඇතැමුන් හුවා දක්වන පරිදි භයානක ප්‍රතිඵල ගෙන නොදේ. එය අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය කෙරෙහි සියළු ප්‍රජාවගේ විශ්වාසය තහවුරු කිරීම සඳහාත් නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහාත් වගවීමේ වැදගත්කම පෙන්වා දීම සඳහා උපකාරී වනු ඇත.

     

    එය සමාජය තුල අපරාධ සම්බන්ධයෙන් පමණක් නොව ‍සියළු අංශයන්හි වගවීමේ ඇති වැදගත්කම අගය කරන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා ඉවහල් වනු ඇත. එමගින් අප බලාපොරොත්තු වන්නේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා ඇතුළු සියලු උල්ලංඝනයන් සම්බන්ධයෙන් දඬුවම් නොලබා සිටීම වලක්වන නීතිය මත පදනම් වූ සංස්කෘතියක් අප රට තුල නිර්මාණය කිරීමයි.

     

    මෙම ක්‍රියාවලිය දැනටමත් අප විසින් ආරම්භ කර ඇත. අභාවයට ගොස් තිබූ යුක්තිය නැවත හිස ඔසවා ඇති අතර ශ්‍රී ලංකාවේ අධිකරණ සියළු පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නැවතත් අවධානයෙන් සිටී. 2000 වසරේ දී යාපනයේ මුරුසුවිල් හි 5 හැවිරිදි දරුවෙක්, නව යොවුන් වියේ තිදෙනෙක් ඇතුළු සිවිල් වැසියන් 8 දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන්ට එරෙහිව පරීක්ෂණ පවත්වන ලද අතර මෙම වසරේ ජූනි මසදී ඉන් එක් පුද්ගලයෙක් වරදකරු වශයෙන් නම් කරන ලදි. නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින නිලධාරීන් හට දැන් ඔවුන්ගේ රාජකාරිය කිසිදු බාධාවකින් තොරව කරගෙන යාමට අවස්ථාව ලැබී තිබේ. මෙම සතිය ඇතුලත මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩගේ අතුරුදහන්වීම සමබන්ධයෙන් සැකපිට සන්නද්ධ හමුදා සාමාජිකයන් 4 දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදි. මෙසේ වැරදිකරුවන් හෙලිකරගැනීමෙන් කලාපයේ වඩාත්ම විනයගරුක හා වෘත්තීයමය හමුදාවක් වශයෙන් නම් දරා සිටි අපගේ සන්නද්ධ හමුදාවන්ගේ ගිලිහී ගිය අභිමානය නැවත තහවුරු කිරීමට අපට හැකි වනු ඇත. සන්නද්ධ හමුදාවන්ගේ විශ්වාසනීය භාවය තහවුරු කරන අතරම අප විසින් ලොකයේ සාමය හා ස්ථාවරත්වය තහවුරු කිරීම උදෙසා අපගේ සන්නද්ධ හමුදා එක්සත් ජාතීන්ගේ සාම සාධන කාර්යයන්හි හා මානූෂිය මෙහෙයුම්හි වඩ වඩාත් යෙදවීමට ද අපේක්ෂා කරන්නෙමු.

     

    සම්භාවනීය අමුත්තනි,
    මෙසේ කරුණු දැක්වීමෙන් අනතුරුව මවිසින් අවධාරණය කල යුතු වැදගත් කරුණක් ඇත්තේය. 

     

    ජාත්‍යන්තර ප්‍රජාව සමඟ අප රටේ සබඳතාවය දැන් බොහෝ කලක් තිස්සේ මානව හිමිකම් වලින් යටපත් වී තිබුණි.

     

    එබැවින් ජනපති මෙත්‍රිපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය මානව හිමිකම් හා ඒ හා සමබන්ධ කරුණු කෙරේ අවධානයෙන් යුතුව කටයුතු ‍කිරීමටත්, දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමටත්, සංහිඳියාව ඇතිකිරීමටත් කැපවී සිටින බව මෙහිලා මා ඉතා විශ්වාසයෙන් යුතුව අවධාරණය කර සිටිනවා. එපමණක් නොව සංහිඳියාව හා ඒකාබද්ධතාවය ඇතිකිරීම සම්බන්ධයෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් තමන්ට පැවරී ඇති වගකීම අනුව මෙම විෂයන් පිළිබඳ කටයුතු කිරීම සඳහා වෙනම අමාත්‍යංශයක් පිහිටුවීමට ද නව ජනපතිතුමා බලාපොරොත්තු වෙනවා.

     

    සම්භාවනීය අමුත්තනි,
    දේශීය යාන්ත්‍රණයක් සකස් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාගැනීම හා මානසික-සමාජයීය සහයෝගය ලබාදීම, යටිතල පහසුකම් සංවර්ධනය හා නැවත පදිංචිකිරීම ආදී සාම සාධන කටයුතු සඳහා ද ඔබගේ වටිනා සහයෝගය අප බලාපොරෙත්තු වෙනවා. ඊට අමතරව අපගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සම්බන්ධ කටයුතු වලදී ද ඔබගේ සහයෝගය ලබාගැනීමට අපි අපේක්ෂා කරනවා. ආර්ථික සංවර්ධනය වනාහි අප සිතන ආකාරයට දිගුකාලීන සාමය තහවුරු කිරීමට හා නැවත ගැටුම් ඇතිවීම වලක්වාලීම සඳහා අත්‍යවශ්‍ය වේ.

     

    අපගේ භාණ්ඩ හා සේවා සඳහා ගෝලීය වෙළඳපොල ප්‍රවිශ්ඨය ලබාගැනීම සඳහා අප අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව අපගේ භාණ්ඩ හා සේවාවල ගුණාත්මකභාවය වර්ධනය කරගැනීමේ ලා ඔබ සතු විශේෂඥ දැනුම ලබාගැනීමට අප අපේකෂා කරනවා.

     

    එමෙන්ම අපගේ අපනයනයන් තරඟකාරී තත්වයට ගෙන ඒම කෙරේද අප අවධානය යොමු කර ඇත්තෙමු. නව රැකියා උත්පාදනය කිරීමටත්, අපගේ තරුණ ප්‍රජාව ලොකයේ රැකියා වෙළදපලට අවශ්‍ය වන තාක්ෂණික හැකියාවන්ගෙන් සන්නද්ධ කිරීමට ද අපි බලාපොරොත්තු වෙමු.

     

    ඔබ දන්නා පරිදි ශ්‍රී ලංකාව, ඉන්දියාව හා පාකිස්ථානය යන රටවල් දෙකම සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් වලට අත්සන් තබා ඇත. ඒ අනුව ඔබගේ රටවල සිටින ආයෝජනයන්ට අප රට තුල කර්මාන්ත ආරම්භ කර මෙම කලාපය සතුවූ විශාල වෙළඳපලට පිවිසීමේ අවස්ථාව ලබාගන්නා මෙන් අප වැඩිදුරටත් ඉල්ලා සිටීමට කැමතියි.

     

    ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කරන නීති පද්ධතීන් නුදුරේදීම ක්‍රියාවට නැංවීමට නව රජය බලාපොරොත්තු වෙනවා. නමුත් අප දන්නා පරිදි නීතියෙන් පමණක් ආයෝජන වටපිටාවක් නිර්මාණය කල නොහැකියි. ඒ අනුව ස්ථාවර ප්‍රතිපත්ති පවත්වාගෙන යාම හා සියළු ආයෝජනයන් හට සමාන අවස්ථා උදාකිරීම අප රජය විසින් ප්‍රමුඛත්වයේ ලා සලකනවා. ජාතික ආණ්ඩුව මගින් ඇතිකරන ද්වීපාර්ශවීය සම්මුතිය මේ සඳහා උපකාරී වනු ඇතැයි අප විශ්වාස කරනවා.

     

    නව රජෙයේ මූලික අරමුණු වලින් එකක් වනුයේ දූෂණය පිටුදැකීමයි. දූෂණය පිටුදැකීම සඳහා වූ එක්සත් ජාතින්ගේ මුලධර්ම මත පදනම් වූ නව නීති හා ආයතන පිහිටූවීමට ඒ අනුව අප බලාපො‍රොත්තු වෙනවා.

     

    විදේශ රටවල් සමඟ නව වෙළඳ ගිවිසුම් ඇතිකරගැනීමට රජය බලාපොරොත්තු වන අතර ආර්ථික සංවර්ධන කලාප 45ක්, හා කාර්මික හා තාක්ෂණික කලාප 11ක් ද හම්බන්තොට (නැව් නිෂපාදනය), රයිගම(නව තාක්ෂණය), මහඔය/වන්නි/කිලිනොච්චි(නිෂ්පාදනය), කෙළඹ (වාණිජ හා මූල්‍යමය කටයුතු), මහනුවර, යාපනය හා ගාල්ල (තොරතුරු තාක්ෂණය)ආදී ප්‍රදේශ ඉලක්ක කරගන ස්ථාපිත කිරීමට නියමිතයි.

     

    සම්භාවනීය අමුත්තනි
    කැබිනට් මණ්ඩලය පූර්ණව පිහිටුවමෙන් අනතුරුව, මම ඇතුළු මාගේ අනෙකුත් කැබිනට් සගයන් මෙම අංශ ඔස්සේ අප එකතුවී වැඩකරන ආකාරය පිළිබඳ සවිස්තර තොරතුරු ඔබ හා බෙදාගැනීමට බලාපොරොත්තු වෙනවා.

     

    එමෙන්ම විදේශ කටයුතු අමාත්‍යංශයේ කාර්යයන් ආර්ථිකමය මුහුණුවරකින්, ඔබ සියළු දෙනා සමඟ වැඩි වශයෙන් සබඳතා පවත්වාගෙන යා හැකි ආකාරයකට ප්‍රතිසංස්කරණය කිරීමට ද මා බලාපොරොත්තු වෙනවා.

     

    අවසාන වශයෙන් අද දින මෙහි පැමිණීම සම්බන්ධයෙන් හා ශ්‍රී ලංකාව සමඟ මෙන්ම ඔබ විසින් නියෝජනය කරනු ලබන රටවල් හා ජාත්‍යන්තර  ආයතන සමඟ මනා සබඳතා පවත්වාගෙන යාම උදෙසා ඔබ විසින් දක්වා ඇති අඛණ්ඩ උත්සාහය සම්බන්ධයෙන් ද ඔබ ‍සියළු දෙනාට මාගේ ගෞරවනීය ස්තූතිය පුදකර සිටිනවා. ‍

     

    එළෙඹෙන අනාගතයේ දී ඔබ සියළු දෙනා සමඟ ඉතා සහයෝගයෙන් හා සමීපව කටයුතු කිරීමට මා බලාපොරොත්තුවෙන් සිටිනවා. “

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu