මාර්තු 26, 2019

tami eng youtube google twitter facebook

    ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සැම විටම පෙනී සිටියේය - විදේශ ඇමති

    අගෝස්තු 26, 2015

    ඇතැම් අවස්ථාවන්හිදී ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා යුදමය විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින බවට ඇතැමුන් විසින් චෝදනා කරන ලද නමුත් මෙය සත්‍යයක් නොව අප රටේ පැවති අවාසනාවන්ත තත්වය සඳහා යුදමය විසඳුමක් ඇතැයි ඔහු කිසිදාක නොසිතූ බවත් ඔහු මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සැම විටම පෙනී සිටි බවත් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (24) පැවති අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පැවැත්වූ ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ උළෙලෙහි දේශනයක් පවත්වමිනි.

     

    මෙම අවස්ථාවට හිටපු එක්සත් ජනපද ලේකම් ටෝනි බ්ලෙයාර් මහතා ද ආරාධිත කථිකයා වශයෙන් සහභාගී විය.

     

    මංගල සමරවීර මහතා විසින් සිදු කළ දේශනය මෙසේය,

     

    “දස වසරකට පෙර එනම්, 2005 අගෝස්තු 12 වන දින ලක් මවගේ කීර්තිමත් පුත්‍රයකු වූ ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා අභාවප්‍රාප්ත විය. නොබියව ත්‍රස්තවාදය හෙලා දකින්නකු වශයෙන්, විදේශ අමාත්‍ය ධුරය භාරගත් දින පටන් ඔහු ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්වූයේය. අවසානයේ මීට දස වසරකට පෙර ස්නයිපර් ප්‍රහාරකයකු විසින් ඔහු ඝාතනය කෙරිනි. මහත්ම මහත්මීණි, ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා යනු ශ්‍රී ලාංකිකයන් විසින් බෙහෙවින් ආදරය කල හා ගරු කල විදේශ අමාත්‍යවරයෙකි. ඔහු සමඟ කටයුතු කිරීමට භාග්‍යය ලැබූ සගයන්, විදෙස් රටවල රාජ්‍ය නායකයන්, කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු ඔහු ඇසුරු කල සියළු දෙනාගේ නොමද ගෞරවයට ඔහු පාත්‍ර විය. ගෝලීය වශයෙන් ඇතිවිය හැකි තර්ජන පිළිබඳ අනාවැකි ඵල කිරිමේ සුවශේෂී හැකියාවක් ඔහු සතුව පැවති අතර 9/11 ප්‍රහාරය සිදු වීමට පෙර ත්‍රස්තවාදී සංවිධාන වල ක්‍රියාකාරකම්, විශේෂයෙන් ඔවුන්ගේ අරමුදල් රැස්කිරීම හා සැලසුම් කටයුතු සම්බන්ධයෙන් බටහිර ජාතීන් විසින් දක්වන ඇල්මැරුණු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඔහු විසින් අනතුරු අඟවන ලදි.

     

    සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දැඩි ලෙස විශ්වාසය තැබූ ඔහු විසින් ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වෙත අනතුරු ඇඟවූයේ ත්‍රස්තවාදීන් ප්‍රජාතන්ත්‍රවාදය මගින් සලසන ලද නිදහස හා ඉඩකඩ ප්‍රයෝජයට ගනිමින් ඒවා විනාශ කිරීමට කටයතු කරන බව පවසමිනි. ඔහු විසින් ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවලට බල කර කියා සිටියේ  ඔවුන් මෙම තර්ජනය පරාජය කිරීම සඳහා එක්ව නැගී සිටිය යුතු බවයි. එසේ නැත්නම් අප විසින් ඉතා අගය කොට සලකන අගයන්, මූලධර්ම හා නිදහස අපට අහිමි වනු ඇති බවට ඔහු අනතුරු අඟවන ලදි. ඔහු විදේශ අමාත්‍ය ධුරය දැරූ 2001 වසරේ දී විධිමත් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීම තුලින් එක්සත් රාජධානිය ඇතුළු බටහිර රටවල් වල එල්ටීටීඊ සංවිධානය සඳහා අරමුදල් රැස්කිරීම නැවැත්වීමට හැකිවිය. මෙම පියවර ඇත්ත වශයෙන්ම එල්ටීටීඊ යේ අවසානය ළඟා කර ලීම සඳහා දමන ලද මුලික අඩිතාලමක් වශයෙන් හැඳින්විය හැක.

     

    නමුත් ඇතැම් අවස්ථාවන්හිදී ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා යුදමය විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින බවට ඇතැමුන් විසින් චෝදනා කරන ලදි. නමුත් මෙය සත්‍යයක් නොවේ. ඔහු සමීපව ඇසුරු කල පුද්ගලයෙකු වශයෙන් මා විශ්වාසයෙන් යුතුව පවසා සිටින්නේ අප රටේ පැවති අවාසනාවන්ත තත්වය සඳහා යුදමය විසඳුමක් ඇතැයි ඔහු කිසිදාක නොසිතූ බවයි. ඔහු මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සැම විටම පෙනී සිටියේය. උදාහරණයක් වශයෙන් රටක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්ෂමා ආයතන පරීක්ෂණයක් සඳහා සහභාගි වූ ලෝකයේ ප්‍රථම පුද්ගලයා බවට පත්වූවේ ඔහුයි. ඒ 1963 දී වියට්නාමය සම්බන්ධයෙනි. අපේ රට සම්බන්ධයෙන් සැමවිටම ඔහු බලාපොරොත්තු වූයේ දේශපාලන විසඳුමක් වන අතර දමිළ ප්‍රජාවගේ දුක් ගැනවිලි වලට විසඳුම් සෙවීමේ වැදගත්කම ගැන ද ඔහු නිතර කථා කලේය. වැඩිමනත් වශයෙන් 1997 අප්‍රේල් 10 වන දින සුදු නෙළුම් ව්‍යාපාරයේ ආරම්භක උත්සවය අමතමින් දමිල ජනතාව විසින් දිගුකාලීනව මුහුණ පාන්නට යෙදුනු දුක් කම්කටොළු පිළිබඳ ඔහු දීර්ඝ වශයෙන් කථා කලේය. අවශ්‍යතා, දරිද්‍රතාවය, හා කුසගින්නෙන් පමණක් නොව ආත්මීය වශයෙන් ද නිදහස ලබාගැනීමේ වැදගත්කම ඔහු විසින් අවධාරණය කරන ලදි. එමෙන්ම අප රට පෙළූ යුද්ධය සඳහා ද්වීපාර්ශ්වීය සම්මුතික ප්‍රවේශයක් සඳහා ඔහු දේශපාලකයන් හට බල කර සිටියේය. මානව හිමිකම් පිළිබඳ දැඩි ලෙස විශ්වාස කල අයෙකු වශයෙන් ඔහු විදේශ අමාත්‍යධූරය භාරගත් අවස්ථාවේ දී මෙම වගකීම තමන් විසින්ම භාරගනිමින් එවකට සිටි නීතිපති සමග එක්ව රැඳවියන් නිදහස් කිරීමේ කටයුත්තෙහි දැඩි ලෙස වෙහෙස මහන්සි වී ක්‍රියා කල ආකාරය මෙහිලා මවිසින් සිහිපත් කරනු කැමැත්තෙමි. එමෙන්ම, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ වෛකල්පික ප්‍රොටෝකෝලය සඳහා ශ්‍රී ලංකාව ඇතුලත් කරගැනීම සහතික කිරීමේ ලා ඔහුගේ විශිෂ්ඨ කාර්යභාරය හා මානව හිමිකම් මූලධර්ම, නීතියේ ආධිපත්‍යය, හා යහපාලනය අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳ ඔහු විසින් කරන ලද අවධාරණය කිරීම් ද ඉතා ප්‍රකට වේ. සියළු දෙනා හට සමානාත්මතාවය තහවුරු කිරීම සඳහා වන මූලධර්ම ඇතුලත් ව්‍යවස්ථාවක් සැකසීම සඳහා ඔහු විසින් ගත් උත්සාහය ද ඒ අතර කැපී පෙනේ.

     

    2000 වසරේ ඔක්තෝබර් මස දී කොතලාවල ආරක්ෂක ඇකඩමියේ දී ඔහු විසින් කල කථාවේ දී ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ සොල්දාදුවාගේ භූමිකාව පිළිබඳ ඔහු විසින් පහදා දෙන ලදි. දැඩි එදිරිවාදීකම් මධ්‍යයේ වුවද රජය හා ආරක්ෂක අංශ විසින් මානව හිමිකම් හා මානුෂීය නීතිය පිළිබඳ නිසි අවධානය යොමුකොට ක්‍රියාකිරීමේ වැදගත්කම ඔහු විසින් අවධාරණය කරන ලදි. ඒ අනුව, ඔහු සොල්දාදුවන් උදෙසා කල ප්‍රකාශයෙන් කොටසක් මවසින් මෙහිලා උපුටා දක්වනු කැමැත්තෙමි.

     

     “යුද්ධය අහවර වීමෙන් පසු ඔබ විසින් ආයුධ බිම තැබූ යම් දිනක, සාමය ගොඩනැගීමට හැකිවනු ඇත්තේ ආරක්ෂක අංශ විසින් යුද්ධ කරන අවස්ථාවේ දී භුගෝලීය වශයෙන් තමන්ගේ පසමිතුරන් වූ සිවිල් ජනතාව හට අවශ්‍ය ආරක්ෂාව සැපයුවහොත්/ මානව දයාවෙන් යුතුව රැකබලා ගතහොත් හා ගෞරව කලහොත් පමණි.  එය ඉතා අපහසු කාර්යයක් නමුත් ඔබේ දැඩි අවධානය ඒ කෙරේ යොමුකිරීම ඉතා වටිනා බැව් මගේ විශ්වාසයිය. එහි මුඛ්‍ය පරමාර්ථය නම් අවසාන වශයෙන් ඒකීය වුත් එක්සත් වූත් රටක් බිහිවනු දැකීමයි. ඒ අනුව අප සැම විසින් වගබලා ගත යුතුතේ, යුද්ධය ජයගත් කලෙක යුද්ධ කිරීමෙන් අවසන් වශයෙන් බලාපෙරොත්තු වූ සාමය අහිමි වීමේ පසුතැවිල්ලට මුහුණ දීමට සිදුනොවන තැනට කටයුතු කිරීමටයි.”

     

    කදිර්ගාමර් මහතා ත්‍රස්තවාදය පිළිකෙව් කල මානව හිතවාදියෙක් විය. ඔහු යථාර්වාදියෙක් මෙන්ම විඥානවාදියෙක් ද විය. ශ්‍රී ලංකාව පිළිබඳ තම දර්ශනය ඔහු විසින් නොයෙක් වර පැහැදිලි කරන්නට යෙදුනි. එවන් එක් අවස්ථාවක දී ඔහු විසින් පැවසූ වදනක් මට සිහිපත් වේ.

     

     “අපේ රටේ සියළු දෙනා එකට ජීවත් වුණා. මම විශ්වාස කරනවා අප සියළු දෙනාට එකට ජීවත් විය හැකියි. මේ රටේ ප්‍රධාන ජාතීන් වන සිංහල, දමිළ, මුස්ලිම් සියළු දෙනා හට විශ්වාසී සබඳතාවයක් යලි ගොඩනැගීමට නොහැකි වීමට තරම් හේතුවක් මට නම් සිතා ගත නොහැකියි. එය මගේ විශ්වාසයයි. මගේ පැතුම වන්නේ ද එයයි. මම ඒ සඳහා දිවිහිමියෙන් ක්‍රියා කරමි. කිසිවෙකුට මා නැවතිය නොහැක.”

     

    අප රටේ පැවති 30 අවුරුදු සිවිල් යුද්ධය අවසන් වූ 2009 මැයි මාසය වන විට කදිර්ගාමර් මහතා ජීවතුන් අතර සිටියානම්, ස්ථීරසාර සාමයක් උදාකරගැනීම සඳහා ලැබුණු අවස්ථාව අහිමි කර ගැනීමට එවකට පැවති රජයට ඔහු ඉඩ නොතබනු ඇතැයි මා විශ්වාස කරනවා. එසේ වූවා නම් පශ්චාත් යුධ සමයේ දී අප රටට අවශ්‍ය වන උපදේශාත්මක, සහයෝගීත්ව, හා සත්‍ය ගවේශන ප්‍රවේශය ඔහු විසින් සලසා දෙන්නටත් ඉඩ තිබුණා. එබැවින් මා සිතන්නේ යුද්ධයේ අවසානය දැකීමට කදිර්ගාමර් මහතා ජීවත් නොවීම අභාග්‍යයක්. ඒ අනුව අද වනවිට ප්‍රතිසංවිධානය තුලින් ස්ථීරසාර සාමයක් කරා අප යන ගමනේ දී හා ප්‍රජාතන්ත්‍රවාදය, ජාතීන් අතර සහජීවනය, නීතියේ ආධිපත්‍යය, හා යහපාලනය ස්ථාපිත කිරීමේ මාවතකට අප රට ප්‍රවේශ වෙමින් පවතින මොහොතක දී ඔහුගේ විශිෂ්ඨ දැනුම තවදුරටත් ලබාගත නොහැකි වීම අප රටට සිදුවූ බරපතල පාඩුවක්. ජනවාරි 8 හා අගෝස්තු 17 වන දින ලබාගත් ද්විත්ව මැතිවරණ ජයග්‍රහණයත් සමග අපගේ ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතීන් නැවත පණගැන්වීමටත්, ආයතන ශක්තිමත් කිරීමටත්, ස්ථිරසාර අර්ථවත් ප්‍රතිසංවිධානයක් හා සාමයක් ගොඩනගමින් අප රට සංවර්ධනයේ හා ප්‍රගතියේ මාවත ඔස්සේ ඉදිරියට ගෙන යාමටත් දැන් අපට අවස්ථාව ලැබී තිබෙනවා.

     

    මෙවන් පසුබිමක් තුල තමයි අද දින ලක්ෂ්මන් කදිර්ගාමර් අනුස්මරණ කථාව කිරීම සඳහා එක්සත් රාජධානියේ වැඩිම කාලයක් අගමැති ධූරය දැරූ කම්කරු පක්ෂ සාමාජික ටෝනි බ්ලෙයාර් මහතා අප සමඟ එකතු වන්නේ. ටෝනි බ්ලෙයාර් මහතා විසින් අග්‍රාමාත්‍ය ධුරය දැරූ සමයේ සිදුවු එක් සුවිශේෂ සිද්ධියක් ලක්ෂ්මන් තදිර්ගාමර් මහතාගේ විශේෂ ඇගයිමට ලක්වන්නට ඇතැයි මා සිතනවා. එය නම් උතුරු අයර්ලන්ත සාම ක්‍රියාවලියේ ලා  ටෝනි බ්ලෙයාර්ගේ භූමිකාවයි. සින් ෆින් හා ඩීයූපී පක්ෂ අතර දේශපාලන එකඟතාවයක් ඇතිකිරීමට සමත් වූ 1998 මහ සිකුරාදා ගිවිසුම වශයෙන් ද මෙය හැඳින්වෙනවා. ටෝනි බ්ලෙයාර් මහතා ඇල්ස්තෑර් කෑම්ප්බෙල් විසින් රචිත පොතක ගැටුම් සඳහා මැදිහත්කරුවෙකු වශයෙන් සිය සාර්ථකත්වය පැහැදිලි කරමින් මෙසේ පවසා තිබෙනවා,

     

    “යුද්ධයකදී පිටතින් සිටින අපට තේරුම් ගත නොහැකි තරමේ විඳවීමක් තිබෙනවා. එවන් තත්වයකට මුහුණ දී නොමැති නිසා අපට එය වටහා ගැනීමට අපහසුයි. යුද්ධයේදී එක් පාර්ශ්වයක ක්‍රියාකාරකම් හේතුවෙන් අනෙක් පාර්ශ්වය නිරන්තර වේදනාවන්ට හා කෘර ප්‍රතිඵලයන්ට මුහුණ දෙනවා. ”

     

    ජාත්‍යන්තර වශයෙන් එකඟ වූ සම්මුතීන්ට, සම්මතයන්ට හා වටිනාකම්වලට ගරු නොකල පුද්ගලයන් විසින් ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාවට එල්ල කරන ලද  බරපතල තර්ජන වලට මුහුණ දීමට ටෝනි බ්ලෙයාර් මහතාට සිදුවුණා. තමන්ට පැවරී ඇති බලතල අනුව, තම රට වෙනුවෙන් පමණක් නොව ජාත්‍යන්තර සාමය හා ස්ථාවරත්වය ස්ථාපිත කිරීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රායෝගික පියවර රැසක් ගැනීමට ඒ අනුව ඔහුට සිදුවුණා. ඒ අනුව, ශ්‍රී ලංකාව වෙත කල තම පුද්ගලික සංචාරය අවසානයේ දී අද දින මෙම කථාව කිරීමට එකඟ වෙමින් උතුරු අයර්ලන්තයේ පැවති සංකීර්ණ ගැටුම් නිරාකරණයේ ලා ඔහුගේ අත්දැකීම් අප හා බෙදා ගැනීම සම්බන්ධයෙන් මම එතුමා හට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ප්‍රතිසංවිධානය හා දිගුකාලීන සාමය උදෙසා වූ මාවතකට ශ්‍රී ලංකාව අවතීර්ණ වී ඇති මොහොතක මෙම කථාව අප හට ඉතා වැදගත් වනු ඇතැයි යනින මගේ විශ්වාසයයි. එමෙන්ම මා සිතනවා උතුරු අයර්ලන්ත අත්දැකීම හරහා ශ්‍රී ලංකාවට බොහෝ පාඩම් උගත හැකියි කියා.“

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu