ජූනි 17, 2019
tami eng youtube  twitter facebook
    logo

    තොරතුරු සහ පුරවැසියා වෙනුවෙන් මාධ්‍ය වගවීම

    ජූලි 06, 2015

    තොරතුරු සහ පුරවැසියා අතර පවතින බැඳියාව මානව සම්භවය දක්වාම පැතිරී පවතී.තොරතුරුවලින් තොර මානව පැවැත්මක් නොමැති අතර තොරතුරු විටෙක ගලා යාමද මානව පැවැත්ම දෙදරායාමට හේතු වූ අවස්ථා නැතුවා නොවේ. එසේ නම් තොරතුරු දැනගැනීම සහ තොරතුරු ලබා දීම යන ද්වි විධික මුල ධර්මය වඩාත් විනිවිද විය යුතු අතර සැබෑ තොරතුරු රටක යහපැවැත්මට දක්වන දායකත්වය වඩාත් ස්ථිර කරයි.

     
    වර්තමානය වන විට තොරතුරු ගලනය යන තේමාව සක්‍රීය තත්ත්වයකට පත්ව ඇති අතර එය පනතක් දක්වා සංවර්ධිත වී තිබේ. මෙම තත්වය හමුවේ දැන් සිදු විය යුත්තේ මෙම තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමයි. සෑම පුද්ගලයෙකුටම තොරතුරු ලබා ගැනීමට අයිතියක් ඇතිවාසේම එය අනෙකාගේ පැවැත්මට හිතකරදායි තත්ත්වයක පවත්වා ගැනීමට නම් ඒ සමඟම ශික්ෂණයද ගොඩ නගා ගත යුතුය.
     
     
    ශත වර්ෂ කිහිපයක සිටම යුරෝපය තුළ මෙම තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් විවිධ වූ කැප කිරීම් සිදු කොට තිබේ. එය නෛතික තත්වයක් දක්වා සංවර්ධනය කරලීම සඳහා 1945 වර්ෂයේ කෙටුම්පත් කරන ලද UNESCO ව්‍යවස්ථාවට තොරතුරු නිදහස පිළිබඳ සංකල්පය අන්තර්ගත කෙරිණි. 1979 වර්ෂයේ බිහි වූ UNESCO ජනමාධ්‍ය ප්‍රඥප්තිය බිහිවීමට මෙමගින් විශාල දායකත්වයක් ලැබිණි . ඒ සමගම 1981 වර්ෂයේ දී බෙල්ග්‍රෙඩ් නුවර පවත්වනු ලැබූ UNESCO සමුළුවේදී  ලෝකයේ තොරතුරු සන්නිවේදන ආශ්‍රිත නියමයන් එළිදැක්වීම සිදු විය. බොහෝ යූරෝපීය රටවල් මෙයට සමගාමීව ස්වකීය තොරතුරු දැනගැනීමේ අයිතිය ස්ථාපිත කළ අතර ඒ පිළිබඳව විවිධ මතවාද සහ සංශෝදනයන්ද ඉදිරිපත් කළහ.
     
     
    රටක ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනයේ යහපැවැත්ම තහවුරු වීම සඳහා මෙම තොරතුරු නිදහස පැවතීම අවශ්‍ය  බව අද වන විට ශ්‍රී ලංකා ජනරජයද පිළිගෙන හමාරය. මෙරට 78 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තිය අනූව මෙම තොරතුරු දැනගැනීමේ නිදහස කරලියට පැමිණෙයි.
     
     
    “ප්‍රජාතන්ත්‍රීය යහපාලනය ඉදිරියට ගෙනයාමට ලේඛණයේ සහ භාෂණයේ නිදහස අත්‍යවශ්‍ය සාධක ද්විත්වයකි.“ මේ සම්බන්ධයෙන් යුනෙස්කෝ හී අධ්‍යක්ෂ ජනරාල් -ඉරීනා බොකෝවා (Irina Bokowa) ගේ අදහසයි මේ.
     
     
    තොරතුරු යනු වෙළද භාණ්ඩයක්නොවේ. සංවර්ධිත සමාජයක් තුළ හුදෙකලාව සිටීම සිදුකළ නොහැක්කකි. එසේනම් මානව සංවර්ධනය ස්ථායිවීම සඳහා තොරතුරු වූ කලි සමාජානුයෝජනයේ ප්‍රමුඛ පාර්ශවයයි. එබැවින් වානිජකරණය වූ මාධ්‍ය මෙවලමකට වඩා එහා ගිය අධ්‍යාපනික සහ දේශපාලනික අගයක් මෙම තොරතුරු සහ තොරතුරු දැනගැනීමේ අයිතිය තුළ පවතී. එය සමාජීය අවශ්‍යතාවයක් වනවා සේම රටේ යහ පැවැත්මට දක්වන දායකත්වය සුළුපටු නොවේ. එසේනම් සිදු විය යුත්තේ විකෘතියකින් තොර නිවැරදි සහ වඩාත් ඉහළ අගයකින් යුත් තොරතුරු සමාජගත වීමයි. මෙම කාර්යය භාරය මාධ්‍යකරුවා වෙත පවතින වගකීම රටේ මහජනතාව වෙත වගවීමක් දක්වා වර්ධනය වූවකි. එය හුදෙක් පෙර සඳහන් කලාක් පරිදි අනෙකාගේ නිදහස,අදහස, චරිතය සුරැකීමේ වගවීමක් දක්වා වර්ධනය විය යුත්තකි.
     
     
    හැරල් ඩී ලැස්වෙල් ගේ අදහස නම් “ඔබේ සැරෑටිය කරකවමින් හෝ බිම ගසමින් ගමන් කිරීමට අයිතියක් ඔබට ඇතුවා සේම එය අනෙකාගේ නාසය අගින් කෙළවර වූවක් විය යුතුය“ යන්නයි.
     
     
    අවශ්‍ය වනුයේ මෙම තොරතුරු දැනගැනීමේ අයිතිය ප්‍රකාරව ගොඩ නැගෙන ස්වයං විධිත වාරණයයි. වාරණයක ගති ලක්ෂණයන් කියවීම නොකල යුතු වන  අතර වඩාත් අවබෝධයෙන් අධ්‍යයනය කළ යුත්තකි. ප්‍රවෘත්ති පළ කිරීම ,රචනය යන ක්‍රියාවන් වලදී  සංයමයක් ගොඩ නගා නොගතහොත් සිදුවන්නේ වල්බූරු මාධ්‍යයක්  හටගැනීමයි. එවැනි තත්වයක් තුළ පොදුවේ සිදුවන හානිදායක තත්ත්වයට පවතින රජය මැදිහත් වීම සාමාන්‍ය ස්වභාවය වන අතර එය මාධ්‍ය වාරණය කිරීමක් නොවේ. 
     
     
    සිදු විය යුත්තේ මාධ්‍ය සිය කාර්යය භාරය නිසියාකාරව කියවා බැලීමයි. සමාජය විශයෙහිලා සිදුකරනු ලැබූ දායකත්වය ගණනය කළ යුතුය. සමබර පුවත් වාර්තාකරණය කිරීම, සමාජයට වැරදි පූර්වාදර්ශ ලබා දීම සහ සමාජය දැනුම මගින් පෝෂණය කිරීම සහ ම්ථ්‍යා මතවාද සමාජගත කිරීම යනකරුණු සම්බන්ධයෙන්  වර්තමානයේ මාධ්‍ය හැසිරීම අධ්‍යයනයට ලක් කල යුතුය. මෙම තත්ත්වය අවබෝධ කර ගැනීම සිදු නොවුනහොත් තොරතුරු සමාජ ප්‍රගමණයට දක්වනු ලබන දායකත්වය වෙනුවට තොරතුරු අනුවේදනීය වනු ඇත.
     
     
     
     
    සහන් හේවා ගමගේ
    ප්‍රවෘත්ති නිලධාරී
    ගාල්ල

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya