පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යනු රටේ අයිතිකරුවන් නොව ජනතාව නීයෝජනය කරන්නා වූ තාවකාලික භාරකරුවන් - කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යනු රටේ අයිතිකරුවන් නොව ජනතාව නීයෝජනය කරන්නා වූ තාවකාලික භාරකරුවන් - කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න
  • SocialShare:

මන්ත්‍රීවරුන් යනු රටේ අයිතිකරුවන් නොව ජනතාව නීයෝජනය කරන්නා වූ තාවකාලික භාරකරුවන් බැවින් ඔවුන්ද රටේ නීතියට යටත් වන බව පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසීය.

ඒ් මහතා මේ අදහස් පළ කළේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය පසුගියදා (3) පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයීය ඕල්කට් ශාලාවේදී පැවැත්වූ අවස්ථාවේදීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ කථානායකවරයා දේශපාලනය අයහපත් දෙයක් නොවන බවත් දේශපාලනය තුලින් ජනතාවගේ පරමාධිපත්‍ය නීයෝජනය කරමින් ජනතාව වෙනුවෙන්, සමාජයේ ප්‍රගමනය වෙනුවෙන් නායකත්වය දීමත් සිදු කරන බව සඳහන් කළේය.

 ඒ නිසා අනාගත ශ්‍රි ලංකාවට දැනුම බුද්ධිය මෙන්ම යහපත් ආකල්ප ද දියුණු කරගත් නායකයින් තව තවත් අවශ්‍ය බැවින් තම දැනුම කුසලතා ආකල්ප වර්ධනය කරගැනීම සඳහා ශිෂ්‍ය පාර්ලිමේන්තුව කදිම අවස්ථාවක් කර ගන්නා ලෙස පැවසූ කථානායකවරයා සියළුදෙනා අවංක සහ නීතිගරුක පුරවැසියන් බවට පත්වීමේ  වැදගත්කමද අවධාරණය කළේය.

තවද, මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) සහ වැඩබලන අධ්‍යක්ෂ (සන්නිවේදන) එම්. ජයලත් පෙරේරා මහතා දරුවන්ගේ පෞරුෂ වර්ධනය සහ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා ශිෂ්‍ය පාර්ලිමේන්තු මහඟු පිලිවහලක් වන බව පෙන්වා දුන්නේය. තවද ඒ මහතා විසින් ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සහ කාර්යයන් පිළිබඳවද සිසු දරුවන් දැනුවත් කළේය.

සිසු දරුවන්ගේ නායකත්ව කුසලතා වර්ධනය සඳහා මෙම වැඩසටහන ඉතා වැදගත් මෙහෙයක් ඉටුකරන බවත් සිසුන්ට ලබා දී ඇති අවස්ථාව පිළිබඳව සිය කෘතඥතාව පලකරන බවත් කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ඩී.එම්.සී.පී දිසානායක තිලකරත්න මහතා අදහස් දක්වමින් පැවසුවේය.

අනතුරුව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කිරීමෙන් පසු කථානායකවරයා පත් කිරීම හා දිවුරුම් දීම, මන්ත්‍රීවරුන් දිවුරුම් දීම ද සිදුවිය. අනතුරුව ශිෂ්‍ය පාර්ලිමේන්තු අග්‍රාමාත්‍යවරයා හා අනෙකුත් අමාත්‍යවරු අදහස් දැක්වීමෙන් පසු ශිෂ්‍ය පාර්ලිමේන්තුව කල් තැබිණි.