කොතලාවල විශ්ව විද්‍යාලය  ජාත්‍යන්තරව පිළිගත් ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමට සැලසුම්

කොතලාවල විශ්ව විද්‍යාලය  ජාත්‍යන්තරව පිළිගත් ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමට සැලසුම්
  • SocialShare:

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ KDU ඉදිරියේදී ජාත්‍යන්තරව පිළිගත් ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට  පත්කළ යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය ආයෝජන සිදුකිරිමට සැලසුම් කරගෙන යන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමසූරිය සඳහන් කළාය.

අද(04) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී රවී කරුණානායක මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරිය මේ බව සඳහන් කළාය.

උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් වියයුතු බවත්, එහි ගුණාත්මක භාවය ආරක්ෂා වන පරිදි එය සිදුවිය යුතු බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. කැඩෙට් සිසුන් පුහුණු කිරීමේ අරමුණින් මෙම විශ්ව විද්‍යාලය ස්ථාපිත කර ඇති බවත්, එහෙත් අදවන විට එම කැඩෙට් සිසුන් ප්‍රමාණය සීඝ්‍රයෙන් අඩු වී ඇතැයිද අගමැතිවරිය පෙන්වා දුන්නාය.

කොතලාවල විශ්ව විද්‍යාලයට සිවිල් සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරිය පැවසුවේ , දැනට පවතින පනතට අනුව සිවිල් සිසුන් කොතලාවල විශ්ව විද්‍යාලයට ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයක්  නැති බවයි. කොතලාවල ආරක්ෂක  විශ්ව විද්‍යාලය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබෙන විශ්ව විද්‍යාලයක් බවත් විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ   Z ලකුණු මත පදනම්ව එම  විශ්ව විද්‍යාලයට සිසුන් ඇතුළත්කර නොගන්නා බවද ඇය පෙන්වා දුන්නාය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට සිසුන් බඳවා ගැනීම සඳහා වෙනම ක්‍රමවේදයක්  ඇති බවත්, එම විශ්වවිද්‍යාලයට සිවිල් සිසුන් ඇතුළත්කර ගැනීම සඳහා පනත සංශෝධනය කළ යුතු බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. 

එහෙත් 2019 වර්ෂයේ පමණක් විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ ඇති වූ තත්වයක් මත වෛද්‍ය පීඨයට සිසුන් 100ක් අතුළත් කර ගැනීම නිසා එම සිසුන් කොතලාවල විශ්ව විද්‍යාලයට ඇතුල් කළ බවත්, එසේ සිසුන් ඇතුළත් කර ගත් එකම අවස්ථාව එය බවත්, ඒ වෙනුවෙන්ද භාණ්ඩාගාරය මුදල් ගෙවා ඇතැයිද කීය.

පසුගිය රජයන්  අත්තනෝමතිකව ක්‍රියා කිරීම නිසා මෙම ගැටලු ඇති වී තිබෙන බවද ඇය  වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.