ජනතා බදු මුදල් ඉතිරි කිරීමට කථානායක ඇතුළු පිරිස පියවර ඇති බවත්, වත්මන් කථානායකවරයාගේ ජනවාරි මස තෙල් වියදම රුපියල් 2,18,000ක් පමණක් බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අද(27) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අයවැය තුන්වැනිවර කියවීමේ අද දින විවාදයට එක්වෙමින් සභානායකවරයා මේ බව පැවසීය නියෝජ්‍ය කථානාකගේ තෙල් වියදම රුපියල් 23,000ක් බවත් කථානායකවරයා නිල නිවස භාවිත නොකරන බවත් සභානායකවරයා වැඩිදුරටත් පැවසීය. නමුත් හිටපු කථානායකවරයා 2024 මුල් මාස 9 තුළ වාහන 9ක් භාවිත කර ඇති බවත් ඒ සඳහා ඉන්ධන වියදම ලෙස රුපියල් ලක්‍ෂ 334ක් වැය කර ඇති බවත් මේ අනුව මසකට හිටපු කථානායකවරයා රුපියල් ලක්‍ෂ 40කට ආසන්න වියදමක් ඉන්ධන සඳහා දරා ඇතැයි සභානායකවරයා හෙළි කළේය. හිටපු නියෝජ්‍ය කථානායකවරයා එම කාලය තුළ වාහන 6ක් භාවිතා කර ඇති බවත් ඒ සඳහා ඉන්ධන වියදම ලෙස රුපියල් ලක්‍ෂ 135ක් දරා ඇති බවද කීය. මෙයට අමතරව හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා එම කාලය තුළ වාහන 4ක් භාවිත කර ඉන්ධන සඳහා රුපියල් ලක්‍ෂ 72ක් වැය කර ඇති බව විගණන වාර්තා පෙන්වා දෙන බවද හෙතෙම කීය. කථානායක නිල නිවසේ 70ක කාර්ය මණ්ඩලයක් නඩත්තු කර ඇති බවද එහි 2024 ආහාර වියදම රුපියල් ලක්‍ෂ 32ක් බවත් ඇමැතිවරයා පැවසීය.