ජාතික ජන බලවේගය මේ රට ගොඩ දමා මිස ජනතාව අත නොහරින බව බව අධිකරණ ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද(27) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අයවැය තෙවැනි වර කියවීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ රටේ ජනතාවගේ බදු මුදල් සතයක්වත් වත්මන් ආණ්ඩුව නාස්ති නොකරන බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය
මේ රජය පත්වෙලා මාස තුනයි. රටේ පාලකයත් නීතියට යටයි කියන දේ අපි මේ මාස තුනේදී පෙන්නුවා. රටේ නාස්තිය අපි අඩු කළා. මේ රටේ දේපළ සාංඝික දේපළ වගේ ආරක්ෂා කළ යුතු බවට අපේ ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ජනතාවගේ බදු මුදල් ඉතා පරෙස්සමෙන් පාවිච්චි කළ යුතු බවට ජනාධිපතිවරයා පැවසුවා. ආණ්ඩුවේ සල්ලි නාස්ති කරන එක පසුගිය ආණ්ඩුවල විනෝදාංශය වුණා. පිනට ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ හරි හොඳයි කියලා හැමෝම කීවා. මම නම් කියන්නේ තනිකර හොරෙක් සහ හිඟන්නෙක්. රනිල් ජනාධිපතිවරයාට උපදේශකවරුන් 39 ක් හිටියා. උපදේශකවරුන් හිටියාට කමක් නැහැ. මොකද ජනාධිපතිවරයා හැම විෂයක්ම නොදන්නා නිසා. 39 ක් තියා ගන්නවා කියන්නේ මේ යකා මොකුත් දන්නේ නැති වෙන්න ඕන. මොකද තමන් නොදන්නා විෂයක් දැන ගන්න කවුරු හරි ඉන්න එකයි 39 ක් තියාගෙන ඉන්නවා කියන එකයි අතර ලොකු වෙනසක් තිබෙනවා. 39 ක් කියන්නේ රනිල් ජනාධිතිවරයා මොකුත් දන්නේ නෑ කියන එක. ඒ කියන්නේ ආසියාවේ ලොකු මොළයක් කියන්න බැහැ. තනිකර මැටි ගොඩක් වෙන්න ඇති.
රනිල් මහතා ඔහුගේ කාලයේදී පමණක් බල පවත්වන ජනාධිපති උපදේශකවරුන් ඇතුළුව 67 ක් කාර්ය මණ්ඩලය පත් කරගෙන සිටියා. ඔවුන්ට දැරූ මුදල් ගැන අපි බලමු. භාවිතා කළ වාහන ටික ජනාධිපති කාර්යාලයට අපි ගත්තා. මාර්තු මාසයේ දී ඒවා අලෙවි කරනවා. සුනන්ද මද්දුම බණ්ඩාර මහතා නිසාන් කාර් එකක්. ඒක නම් කමක් නැහැ කියමුකො. සමන් රත්නප්‍රිය සිල්වා KI 3159 මිට්ෂුබිෂි මොන්ටේරේ ජීප්, කොඩිතුවක්කු මහතා ලෑන්ඩ් රෝවර් ජීප්, දයාරත්න මහතා මිට්ෂුබිෂි මොන්ටේරෝ ජීප්, රන්ජිත් කීර්ති තෙන්නකෝන් මහතා (අධ්‍යක්ෂ ජනරාල් ප්‍රජා කටයුතු) ලෑන්ඩ් කෘෂර්, පී. හැරිසන් (ප්‍රධාන සම්බන්ධීකාරක ඉඩම් හිමිකම් වැඩසටහන). සාමාන්‍යයෙන් අමාත්‍යාංශයේ ලේකම්වරයාට කළ හැකි දේවලට තමයි මෙහෙම පත් කිරීම් සිදු කරගෙන තිබෙන්නේ. රෝසි සේනානායක මහත්මිය ජනාධිපති උපදේශක පළාත් පාලන පෝෂේ වාහනය. සමන් කුමාර අතාවුද හෙට්ටි මැස්ඩා එකක්. ජනාධිපති උපදේශක පාර්ලිමේන්තු කටයුතු ආශු මාරසිංහ මහතා ටොයොටා ලෑන්ඩ් කෘෘෂර්. රනිල් මහතා පාර්ලිමේන්තු එනකොට ආශු මහතා ඉස්කෝලේ යනවා ඇති. එහෙම එකේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක තනතුරක් දෙන්නේ මොකටද. වඩිවේල් සුරේෂ් මහතා (ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක කඳුරට ජනතාව ශ්‍රී ලංකා සමාජකරණයට ඒකීයකරණය කිරීම) ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් එකක්. අකිල විරාජ් කාරියවසම් මහතා (ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක විමධ්‍යගත පරිපාලන) ටොයොටා ලෑන්ඩ් කෘෘෂර්. සාගල රත්නායක (කාර්ය මණ්ඩල ප්‍රධානී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජාතික ආරක්ෂා) ටොයොටා ලෑන්ඩ් කෘෘෂර් එකක්. මේ අය සඳහා වාහනවලට අමතරව වැය ශීර්ෂයකුත් තිබෙනවා. බටගොඩ මහතා රුපියල් ලක්ෂ 26 යි. ඒක නම් එතරම් ගැටලුවක් නැහැ. සාගල රත්නායක මහතා රුපියල් මිලියන 7.4 ක් ගෙවීම් ලබාගෙන තිබෙනවා. මද්දුම බණ්ඩාර රුපියල් ලක්ෂ 43 ක් ලබාගෙන තිබෙනවා. සමස්තයක් ලෙස රුපියල් මිලියන 59 ක වියදම් දරා තිබෙනවා. වර්තමාන ජනාධිපතිවරයා උපදේශකවරුන් ගණන 3 යි. වියදම් බින්දුවයි. අන්න එහෙමයි රටේ ජනතාවගේ මුදල් ආරක්ෂා කරන්නේ. අපේ වැටුප එන්නේ අපේ ගිණුමට. අපි ස්වේච්ඡාවෙන් ඒක පොදු අරමුදලට යොදනවා. අපේ පෞද්ගලික වැටුප් අපි පෞද්ගලිකව භාවිතා කරන්නේ නැහැ. මොකද අපි වගේම ව්‍යාපාරය නඩත්තු කිරීමට උදේ සවස බයිසිකල් පදින, වැස්සේ තෙමෙන සහෝදර සහෝදරියන් සිටිනවා. ඔවුන් එකිනෙකා බලා ගැනීමේ අරමුණකින් අපි කටයුතු කරනවා. අපි මෙතැන්ට ආවේ සමාජ සේවාවක් කරන්න. මම හර්ෂණ නානායක්කාර. නීතිඥවරයෙක් විදියට අවුරුදු 25 ක් සේවයේ සිටියා. ඒ හම්බ කළ මුදලෙන් මම අද ජීවත් වෙනවා. මම කාටවත් අත පාන්නේ නැහැ. අපට ඉතාම දියුණු වැදගත් සංස්කෘතියක් තිබෙන අය. මුදල්වලට විකිණෙන්නේ නැති කට්ටිය අපි. හිඟන්නු, මංකොල්ලකාරයන් කියන්න ඕන කලින් ජනාධිපතිවරුන්ට. අපි සාමූහිකත්වයෙන් සිටිනවා. මට කරදරයක් වුණොත් මගේ පක්ෂයෙන් මම බලා ගන්නවා. අපේ මේ සංස්කෘතිය තේරෙන්න නම් දියුණු වෙන්න ඕන. එහෙම නැතිව කක්කුස්සි වලේ ජීවත් වන හාදයා මී පැණි ගැන දන්නේ නෑනේ. අපට ඒකට කරන්න දේකුත් නැහැ. ඒ නිසා අපි අපි ගැන බලා ගන්නම්. ජනතාවගේ සල්ලා හොරා කන්නෙත් නැහැ.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැය ශීර්ෂය වන්නේ 2024 වසරේදී රුපියල් මිලියන 630 යි. 2025 වසර සඳහා මිලියන 350 යි. රුපියල් මිලියන 350 ක ඉතිරියක් කර තිබෙනවා. ඉන්ධන සඳහා මීට පෙර මිලියන 3 යි. ප්‍රභූ නිල රථ අඩු කිරීම නිසා දැන් ලක්ෂ 3 යි. වෙඩි නොවදින රථ රක්ෂණයට ඉතිරිය රුපියල් මිලියන 37 ක්ම ඉතිරි කළ හැකි වුණා. පෞද්ගලික කාර්ය මණ්ඩලයේ අනුමත සේවක සංඛ්‍යාව 65 යි. නමුත් එතුමිය භාවිතා කරන්නේ 7 යි. ඇයගේ පෞද්ගලික මාධ්‍ය අංශයට සේවක සංඛ්‍යාව 47 ක් අනුමතයි. හැබැයි ඇය භාවිතා කරන්නෙ10 යි. එහෙම තමයි අපි ජනතාවගේ මුදල් පරෙස්සමින් භාවිතා කරන්නේ. අගමැති කාර්යාලයේ ඉන්ධන වියදම් ඉතිරිය රුපියල් මිලියන 34 යි. වෙඩි නොවදින රථ රක්ෂණ කපා හැරීම නිසා රුපියල් මිලියන 37 යි. සංග්‍රහ කටයුතු වියදම් ඉතිරිය රුපියල් මිලියන 15 යි. පෞද්ගලික කාර්ය මණ්ඩලයේ වියදම් ඉතිරිය රුපියල් මිලියන 22 යි. අගමැති වෛද්‍ය ඒකකයේ වියදම් කපා හැරීම නිසා ඉතිරිය රුපියල් මිලයන 4 යි. වෙඩි නොවදින රථ වාහන භාවිතා නොකිරීමෙන් රුපියල් මිලියන 16 යි.