මෙම තරගාවලිය අදියර 4කින් යුක්ත වේ. එහි අදියර 03ක් පසුගිය සැප්තැම්බර් 5 දින ආරම්භ කර සැප්තැම්බර් 25 දින අවසන් කෙරිණි. වර්ෂාව නිසා සිදු වූ දුෂ්කරතා හේතුවෙන් ක‍්‍රීඩා ඉසව් 2කට පමණ බාධා සිදු වුවද සමස්තය ඉතාමත් සාර්ථකව නියමිත පරිදි පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය, ශාරීරික අධ්‍යාපන හා ක‍්‍රීඩා ශාඛාව විධිවිධාන යෙදිණි. පළමු අදියර (කණ්ඩායම් තරග 10 සහිතව) සැප්තැම්බර් 05, 06, හා 07 දිනවලත්, දෙවැනි අදියර (කණ්ඩායම් තරග 08ක් සහිතව) සැප්තැම්බර් 14, 15, 16 දිනවලත් තෙවැනි අදියර (කණ්ඩායම් තරග 08ක් සහිතව) සැප්තැම්බර් 23, 24, හා 25 දිනවලදීත් පැවැත්විණි.
සිව්වැනි අදියරේ තරග ඊයේ (02
) ආරම්භ කළ අතර අද (03), හෙට (04), අනිද්දා (06) හා ලබන 07 දිනවලත් මේ ක්‍රීඩා තරග කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.
සිවුවැනි අදියර යටතේ මලල ක‍්‍රීඩා තරග ඉසව් 53ක් පැවැත්වෙන අතර මේ සඳහා දිවයිනේ සියලු පළාත් නියෝජනය කරමින් පාසල් 1,044ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 4,786ක් සහභාගී වීමට නියමිත ය.
පුරා දින 05ක් දිවෙන ජාතික මට්ටමේ එක ම ක‍්‍රීඩා තරගාවලිය ලෙස ඉතිහාසයට එක්වන මෙම පාසල් ක‍්‍රීඩා උළෙල මෙවර විශේෂයෙන් 30 වසරක සාපරාධී යුද්ධයෙන් දැඩි ලෙස පීඩා විඳි උතුරු නැගෙනහිර පළාත්වලටත් මුල් අදියරේ විවිධ ක‍්‍රීඩා ඉසව් ව්‍යාප්ත කර පැවැත්වීම මඟින් ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමෙහි ලා තබන ලද වැදගත් ආරම්භයක් ලෙස ද සටහන් කළ යුතු ය.
මෙම තරගාවලියේ සමාරම්භක උත්සවය ඊයේ (02) අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් සුගතදාස ක‍්‍රීඩාංගණයේ පැවැත්වුණි.
මෙහි සමාප්ති උත්සවය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් ඔක්තෝබර් 07 වැනි දා සුගතදාස ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට සියලු විධිවිධාන යොදා ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය, ශාරීරික අධ්‍යාපන හා ක‍්‍රීඩා ශාඛාව පැවසීය.
NDH/kpm