අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීමට ලෝක පාපන්දු සම්මේලනයේ සහය

    සැප්තැම්බර් 02, 2014
    ක්‍රීඩා සංගම්වල ඇතිවී තිබෙන පරිපාලන දුර්වලතා මඟහැර ක්‍රීඩා කටයුතු වඩාත් කාර්යක්ෂමව ඉදිරියට ගෙනයාම සඳහා සෑම සංගමයකම වැටුප් ලබන ප්‍රධාන විධායක නිලධාරී තනතුරු ඇතිකර ක්‍රීඩාවේ දියුණුවට නව මාවතක් ඇති කළ යුතු යැයි ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලෝක පාපන්දු සම්මේලනයේ මහ ලේකම් ජෙරම් වැල්කේ (Jerome Valcke) මහතාට කළ යෝජනාවට ලෝක පාපන්දු සම්මේලනයේ එකඟතාව පළ වී ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
     
    ලෝක පාපන්දු සම්මේලනයේ මහ ලේකම් ජෙරම් වැල්කේ (Jerome Valcke), ආසියානු පාපන්දු සම්මේලනයේ මහ ලේකම් ඩැටෝ ඇලෙක්ස් සූසේ (Dato Alex Soosay) හා ලෝක පාපන්දු සම්මේලනයේ සේවා හා සංවර්ධනය පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ටෙරී රෙජිනස් (Theierry Regenass) යන මහත්වරු ඊයේ (01) දින ක්‍රීඩා අමාත්‍යාංශයේ දී හමුවී ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ සංවර්ධනය පිළිබඳ ව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.
     
    මෙහිදී ලෝක පාපන්දු සම්මේලනයේ මහ ලේකම් ජෙරම් වැල්කේ මහතා ඇතුළු ජාත්‍යන්තර පාපන්දු ප්‍රධානීන් ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීමට අඛණ්ඩව සහයෝගය ලබාදෙන බවට අවධාරණය කරමින් පාපන්දු ක්‍රීඩාව ග්‍රාම්‍ය මට්ටමින් ව්‍යාප්ත කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාපන්දු සංගමය ගෙන යන වැඩපිළිවෙළ අගය කළේය.
     
    පසුගිය කාලපරිච්ඡේදයේ දී ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීම සඳහා විශාල වශයෙන් මූල්‍ය ආධාර ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ගෝල් ව්‍යාපෘතියට, බැද්දගාන ව්‍යාපෘතියට හා සුනාමි ආධාර වැඩසටහන යටතේ ලැබී ඇතත් හිටපු පාපන්දු පරිපාලනය එම ආධාර තම පුද්ගලික අරමුදල්වලින් හා මැදිහත්වීම්වලින් ලබාගත් බවට ප්‍රචාරයක් ගෙන ගිය බවත් එම නිසා එම මතවාදයන් වෙනස් කර ලෝක පාපන්දු සංගමයෙන් ලැබෙන අරමුදල් මෙරට පාපන්දු සංවර්ධනයට නිසියාකාරව යෙදවීමට නව පාපන්දු පරිපාලනය කටයුතු කර ඇති බවත් ක්‍රීඩා අමාත්‍යවරයා ජාත්‍යන්තර පාපන්දු ප්‍රධානීන්ට පෙන්වා දුන්නේය.
     
    ජාත්‍යන්තර පාපන්දු සංගමයෙන් පසුගිය කාලපරිච්ඡේදයේ දී විශාල මුදල් ආධාර ප්‍රමාණයක් ලබා දී ඇති නමුත් මෙරට පාපන්දු ක්‍රීඩා ව්‍යාපෘතිය ලීග් 44කට සීමා වූ බවත් ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත් වීම මත නව පාපන්දු පරිපාලනය සමඟ ක්‍රීඩාව ගම් මට්ටමෙන් දියුණු කිරීම සඳහා විශාල වැඩකොටසක් මේ වනවිට ඉටුකර ඇති බවත් ලෝක පාපන්දු බලධාරීන්ට දන්වා සිටියේය.
     
    පසුගිය වසරේ පාපන්දු ක්‍රීඩාව ගම් මට්ටමෙන් ජනප්‍රිය කරවීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත් වීම මත දිවයිනේ පාපන්දු කණ්ඩායම් 4000කට අධික සංඛ්‍යාවක් තරග කිරීමට කටයුතු කරමින් යළි පාපන්දු ක්‍රීඩාව ජනප්‍රිය කරවීම සඳහා නව වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් පාපන්දු ලීග් 100 දක්වා වැඩි කිරීමට ද නව පරිපාලනය කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කළේය.
     
    පසුගිය කාලපරිච්ඡේදයේ දී මෙරට සමස්ත ක්‍රීඩාවේ යහපත වෙනුවෙන් තහනම් උත්තේජන භාවිතය වැළැක්වීම සඳහා නව පනතක් ගෙන ඒමට කටයුතු කිරීම පිළිබඳව ජාත්‍යන්තර පාපන්දු ප්‍රධානීන්ගේ ප්‍රශංසාව හිමි වූ අතර ඉදිරියේදී තරග පාවා දීමට එරෙහිව නව පනතක් ගෙන ඒමට කටයුතු කිරීමද ඔවුන් ඇගයීමට ලක් කළ බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya