අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ දිනය අදයි

    ඔක්තෝබර් 24, 2019

    ලෝක සාමය පෙරදැරි කරගත් ලොව බවත් ම සංවිධානය ලෙස සැලකෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 74 වන සංවත්සරය අදට යෙදී තිබේ.

    අද දින එක්සත් ජාතීනගේ ජාතීන්ගේ දිනය ලෙස සැලකෙන්නේ 1945 වර්ෂයේ ඔක්තෝබර් 24 වන දා එක්සත් ජාතීන්ගේ සංවිධානය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරිම සනිටුහන් කිරීම සඳහා ය.

    ලෝක සාමය වෙනුවෙන් ක්‍රියා කරන ලොව එකම, විශාලතම සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. එක්සත් ජාතීන්ගේ සාම සාධක පිරිවර 120,000ක් පමණ වේ. ඔවුන් මහාද්වීප හතරක් පුරා සාම ක්‍රියාදාමයෙහි යෙදී සිටිති. සාමය හැරුණුවිට, තවත් බොහෝ සහන සේවා, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලෝකයට සැලසේ. රටවල 75ක ජීවත් වන මිලියන 90ක් පමණ ජනයාගේ කුසගිනි නිවන්නේ මෙම ජගත් සංවිධානයයි. මිලියන 34ක් තරම් වූ සරණාගතයන් පිරිසකගේ ගැටලුවලට විදුසදුම් ඇත්තේ ද මෙම ජගත් සංවිධානයේ ම ය. ලෝක ජනගහනයෙන් 58%කට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට හවුල් වීම, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කෙරෙන තවත් වැදගත් කාර්යයකි.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ වූයේ දෙවැනි ලෝක යුද්ධය නිම වීමෙන් පසුවයි. එනම් 1945දී. ලෝකය පුරා පවතින ප්‍රචන්ඩත්වය අවම කර සාමය පැතිරවීමේ අරමුණෙන් රටවල් 51ක් එකඟතාවයකට එළැඹි අතර, මේ සංවිධානය ඇති වීමට එමඟින් පදනම වැටිණ. අද වනවිට සංවිධානයේ සාමාජික රාජ්‍ය ගණන 193කි. ජගත් සංවිධානයට අලුතෙන්ම එකතු වුණු සාමාජිකයා දකුණු සුඩානයයි. වතිකානය, කොසෝවෝ රාජ්‍ය සහ තායිවානය එහි සාමාජිකත්වය නොදරණ රාජ්‍ය වේ.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඒ නම ලැබුණේ, එවක අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාව සිටි ෆ්‍රැන්ක්ලීන් ඩී. රූස්වෙල්ට් ය. ඔහු අමෙරිකාවේ 32 වැනි ජනාධිපතිවරයා ය. "යුනයිටඩ් නේෂන්" යන නම මේ සංවිධානයට තබමු යැයි රූස්වෙල්ට් පළමුවෙන් ම කියා තිබෙන්නේ, එවක බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයාව සිටි වින්ස්ටන් චර්චිල්ට ය. "යුනයිටඩ් නේෂන්" යන නම සංවිධානයට තබන්නට මේ නායකයන් දෙපළ එකඟ වී තිබේ.

    එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානය තිබෙන්නේ, අමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නුවර ය. මේ ගොඩනැගිල්ල මීටර 154ක් උසැති ගොඩනැගිල්ලකි. එය මහල් 39කින් සමන්විත ය. ගොඩනැගිල්ල තනා නිම කෙරුණේ 1952 වසරේදී ය. එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ ගොඩනැගිලි සැලැස්ම සකසන්නට මුල් වූයේ, බ්‍රසීල ජාතික ඔස්කාර් නීමෙයර් සහ ස්විට්සර්ලන්ත - ප්‍රංශ ජාතික ලී කෝර්බූසියර් යන ගෘහ නිර්මාණ ශිල්පීන් දෙදෙනා ය. ගොඩනැගිලි සංකීර්ණය ඉදි කිරීමට අවශ්‍ය භූමිය මිලදී ගෙන තිබෙන්නේ, විලියම් සෙකොන්ඩොර්ෆ් නමැති ව්‍යාපාරිකයකුගෙනි. ඉඩම මිලදී ගැනීමට මුදල් පරිත්‍යාග කර තිබෙන්නේ ජෝන් ඩී. රොකෆිලර් බව සඳහන් වේ.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ගෙන සිටි රාජ්‍යයක්, එම සාමාජිකත්වයෙන් පළමුවෙන්ම ඉවත් වූයේ නම් ඒ ඉන්දුනීසියාවයි. මේ අර්බුදකාරී තත්ත්වය මතුවූයේ 1965 වසරේදී ය. ඉන්දුනීසියාව, මැලේසියාවත් සමඟ ඇති කරගෙන තිබූ ඝට්ටනවල ප්‍රතිඵලයක් හැටියට, ඉන්දුනීසියාව ජගත් සංවිධානයෙන් ඉවත් වන බව එහි මහා ලේකම්වරයාට දැනුම් දුන්නේ ය. එම දැනුම්දීම කළේ, ඉන්දුනීසියාවේ එකල ජනාධිපතිවරයාව සිටි සුකර්නෝ ය. එසේ වුවත්, ජගත් සංවිධාන සාමාජිකත්වය යළි ලබා ගන්නට ඉන්දුනීසියාව පසුව කටයුතු කළේ ය.

    ජගත් සංවිධානයේ සාමාජික රාජ්‍ය 193 තුළ භාවිතයට ගැනෙන භාෂා විවිධ ය. එසේ වුවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ නිල භාෂා හැටියට භාවිතයට ගැනෙන්නේ, අරාබි, චීන, ඉංග්‍රීසි, ප්‍රංශ, රුසියා සහ ස්පාඤ්ඤ යන භාෂා පමණි.

    එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයෙහි තැපැල් කාර්යාලයක් පිහිටා ඇත. එහි භාවිතයට ගැනෙන්නේ එම සංවිධානය නිකුත් කළ මුද්දරයි. එක්සත් ජාතීන්ගේ මුද්දර, අමෙරිකානු ඩොලර්, ස්විස් ෆ්‍රෑන්ක් සහ යුරෝ යන මුදල් ඒකක තුනෙන් පමණක් මිලදී ගැනීමට හැකියාවක් පවතී. එක්සත් ජාතීන්ගේ සංවිධානය පළමු මුද්දරය නිකුත් කළේ 1951 වසරේ ඔක්තෝම්බර් 24 වැනිදාට යෙදුණු එක්සත් ජාතීන්ගේ දිනය නිමිති කරගෙන ය. එය, අමෙරිකා ඩොලර් භාවිතයෙන් පමණක් මිලදී ගත හැකි මුද්දරයක් විය.

    මෙම සංවිධානයේ එතෙක් - මෙතෙක් ඉතිහාසය ගත් විට, එහි මහා සභාවකදී දීර්ඝතම දේශනයක් පවත්වා තිබෙන්නේ 1957 වසරේදී ය. එම දේශනය පවත්වා තිබෙන්නේ වී.කේ. ක්‍රිෂ්ණ මෙනන් නමැති ඉන්දීය දේශපාලනඥයා ය. හෙතෙම පැය 8ක් පුරා සිය දේශනය පවත්වා තිබේ. කතාවට විෂය වී තිබෙන්නේ ඉන්දියාවේ කාශ්මීරය පිළිබඳ ගැටලුව ය. දේශනය ආරම්භ කළ දිනයේදී හෙතෙම නොනවත්වාම පැය 7ක් කථා කළ බව සඳහන් වේ. එදින සිය දේශනය නවත්වා ඇත්තේ, රෝගාතුරුව සභාවෙහිම ඇද වැටීමෙන් පසුව ය. අනතුරුව ඔහු රෝහල් ගත කෙරිණ. පසුදින ක්‍රිෂ්ණ මෙනන්, ජගත් මහා සභාවට නැවත පැමිණ සිටියේ ය. ඔහුට ඔහුගේ කතාවෙහි ඉතිරිය කරගෙන යෑමට එදින අවසරය ලැබිණ. එසේ වුවත් ක්‍රිෂ්ණ මෙනන්ගේ රුධිර පීඩනය පිළිබඳ විමසිලිමත්ව ඔහු පසෙකින් වෛද්‍යවරයෙක් සිටියේ ය. එදින පැයක පමණ කාලයකදී ඔහු සිය කතාව අවසන් කර ඇත. කාශ්මීරය සම්බන්ධයෙන් පකිස්තානයෙන් නැඟුණු සියලු තර්ක, ක්‍රිෂ්ණ මෙනන්ගේ කතාව ඉදිරියේ නිහඬ විය. මේ හේතුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරුට කාශ්මීරය ඉතා සාර්ථකව පාලනය කරන්නට හැකි වී ඇත.

    ඝානා ජාතික කොෆී අනන්, 1997 - 2006 කාල සීමාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා හැටියට කටයුතු කළේ ය. සාමය ඇති කිරීම ‌මෙන් ම අප්‍රිකාවෙන් එච්.අයි.වී. අතුගා දමන්නට ඔහු මහඟු කාර්යයක් ඉටු කළේ ය. ලෝකයට සාමය උදා කරන්නට වෙහෙස වූවන්ට පිදෙන නොබෙල් සාම ත්‍යාගය, ඔහුටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් මේ නිසා 2001 වසරේදී පිරිනැමිණ. මේ නොබෙල් සාම ත්‍යාගය ඔහුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් අතර සමසේ බෙදී යෑම විශේෂත්වයක් විය.

    සිය 74 වන සංවත්සරය සමරන එක්සත් ජාතීන්ගේ සංවිධානය සාමය සහ ආරක්ෂාවත්,
    තිරසාර සංවර්ධනය සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම සඳහාත් කැපවී සිටින ආයතනයකි. දුගීබව
    නැති කිරීමටත්, අසමානතා අවම කිරීමටත්, සාමකාමී සහ සැවොම අන්තර්ගත ප‍්‍රජාවන් ප‍්‍රවර්ධනය කිරීමටත්, ලෝකය සංරක්ෂණය කිරීමටත් කැපවී සිටින ආයතනයක් ලෙස හඳුනාගත හැකියි.

    මනෝජා සමරනායක

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya