අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝකයේ දෙවන ආර්ථික බලවතාගේ 70 වන ජාතික දිනය සැමරීම

    ඔක්තෝබර් 11, 2019

    “ පුද්ගලයකු සිය අතීත දැනුමෙන් පෝෂණය වන්නේ නම් හා නව දැනුම අඛණ්ඩව ලබාගන්නේ නම්, ඔහුට අනෙක් අයට ගුරුවරයෙක් විය හැකිය,,

    මෙය ප්‍රසිද්ධ චීන කියමනකි. එරට නූතන සංවර්ධන ගමන් මගේ පැහැදිලි බව සමඟ එම කියමන මනාව ගැලපේ. මහජන චීන සමූහාණ්ඩුව ( PRC ) පිහිටුවා 2019 ඔක්තෝම්බර් 01 වන දිනට වසර 70 කි. පසුගියදා එය සමරනු ලැබුවේ චීනයට දැන් ඇති ශක්තිය විදහා පෑමක් ලෙසිනි. 1949 ට පෙර චීනයේ පැවැති තත්වයන්, මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසුව වසර 70 කදී චීනය ලබාගෙන ඇති සංවර්ධනාත්මක ජයග්‍රහණයන් මොනවට පැහිදිලි කරන ආකර්ශනීය හා ගාම්භීර උත්සවයක් ලෙස මෙවර චීන ජාතික දින උත්සවය සංවිධානය කර තිබුණි.


     1949 ට පෙර හා පසු චීනය

    1949 ට පෙර චීනය තුල පැවතියේ අර්ධ වැඩවසම් හා අර්ධ යටත් විජිත තත්වයකි. එවක ජනතාවගේ ජීවන ගමන අතිශය දුක්ඛදායී විය. දුප්පත්කම, නිවාස ගැටළු, දූෂණ ආදියෙන් පිරී තිබුණි. පැහැදිලි දේශපාලන පරිසරයක් නැත. අධ්‍යාපනය ඉතාම පහළ තැනක් ගත්තේය. සෞඛ්‍ය පැවතියේ ඉමහත් දුර්වල තත්ත්වයකයි.


    එහෙයින් පැහැපත් ආර්ථිකයක් හෝ හරවත් සමාජයක් ගැන හෝඩුවාවක් වත් චීනය තුල එවක නොපැවතිණි. 1911 දී පැවති ෂිංහයි ( Xinhai) විප්ලවය, 1921 දී චීන මහජන කොංග්‍රසය ( CPC ) පිහිටුවීම, 1949 දී මහජන චීන සමූහාණ්ඩුව ( PRC ) ප්‍රකාශයට පත් කිරීම, 1978 දී ප්‍රතිසංස්කරණ හා විවෘත භාවයන් (Reform And Opening Up ) හඳුන්වා දීම යනාදී සන්දිස්ථානිය ප්‍රවේශයන් නිසා චීනය අද ලෝකයේ ඉහළ බලවේගයක් බවට පත්ව සිටී.


     නිවැරදි තීන්දු ඔස්සේ චීනය ආ ගමනේ ප්‍රතිඵල
    වසර 70 කට පෙර අන්ත දුඟී තත්ත්වයේ සිටි චීනය ගෙවුණු වසර 70 දී සිය රටෙහි ආනයන අපනයන වටිනාකම 4000 ගුණයකින් වැඩිකරගෙන තිබේ. එමෙන්ම ආකර්ශනය වු සමස්ත විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.1 කි. ලෝක ආර්ථිකයට දක්වන දායකත්වයේ පළමු තැන 2006 වර්ෂයේ සිට අත්කරගෙන ඇත්තේ ද චිනය යි. වසර 70 ක කාලයේ චිනයේ විදේශ ආයෝජන ඇමරිකානු ඩොලර් මිලියන 100 ඉක්මවයි. ජනතාව මනාව ඒකරාශී කරමින් ඔවුන් සංවර්ධන ගමනට ගොනු කිරිමේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට චිනය ලෝකයේ දෙවන ආර්ථික බලවතා බවට පත්ව සිටී. රටෙහි ඒක පුද්ගල ආදායම ද ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පවතී. මීට වසර 5 කට පෙර 2014 දී ඇමරිකානු ඩොලර් 6500 ක් වු ඒක පුද්ගල ආදායම 2019 වන විට ඇමරිකානු ඩොලර් 9000 දක්වා ඉහළට පැමිණ ඇත. චින ආර්ථික සංවර්ධනයේ ප්‍රවේගකාරී බව එයින්ම වටහාගත හැකි යි. ප්‍රධාන කෘෂි නිෂ්පාදන ආර්ථිකයක් මෙන්ම කාර්මික නිෂ්පාදන අතින් චීනය බැබලෙමින් සිටී. සැබැවින්ම ගෝලීය වෙළදපොළ තුල චිනය යනු ලෝක කම්හලකි.

     චීනය මේතරම් දියුණු වුයේ කොහොමද ?


    වසර 5000 ක් තරම් පැරණි චීන ජනතා උරුමයන් ඒකරාශි කරගැනීම, චීන ලක්ෂණ සහිත සමාජවාදය, කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යනාදි කරුණු රැසක් කේන්ද්‍ර කරගෙන චීන රට ලෝකයේ බලවතකු බවට පත්වෙමින් සිටී. එය දැන් ඉහළ මට්ටමේ නවීන සමාජවාදී රටකි. එහි ඉහළ බලයක්, පැහැදිලි දේශපාලනයක් මෙන් ම ස්ථාවර සමාජයක් ද තිබේ. සංස්කෘතික සමෘද්ධිය ද අගනා ය. බොහෝ විද්වතුන් පෙන්වා දෙන පරිදි චිනය මෙම නව සංවර්ධන ප්‍රගමනය අත්පත් කදරගෙන ඇත්තේ චීන රජයේත්, ජනතාවගේත් ස්වයං සමූච්චගත වීමේ ප්‍රතිඵලයක් හැටියට යි. විශේෂයෙන් ම 1911 දී පැවති “ ෂිංගයි “ ( Xinhai) විප්ලවයෙන් පසුව ග්‍රාමීය නගාසිටුවීම ප්‍රවර්ධනය වි ඇත. රට ස්ථාවර කිරීමේ ඒකායන අරමුණින් 1949 දී මහජන චින දේශපාලන උපදේශන සභාව ( Chinese People ‘ s Political Consultative Council ) පිහිටුවයි. ඉන් වසර පහකට පසුව 1954 දී ජාතික මහජන සම්මේලනයේ පළමු සැසිවාරය පැවත්විය. නිසි රාජ්‍ය ක්‍රමයක් ආරම්භ වීමේ පළමු පියවර මෙය යි.

    මෙයින් පසුව නිවැරදි නායකත්වය හේතුවෙන් දේශපාලන දූෂණය නවතින්නට පටන් ගත්තේය. චීනය බලාපොරොත්තු වූ ස්ථාවර ආර්ථිකයකට, සංස්කෘතික සමෘද්ධියකට ද රට විවර විණි. චීනයේ නව දේශපාලන රටාවට අනුව කෙටි කාලයක් ජනතාවට අතිශය කටුක ලෙස දිවි ගෙවන්නට සිදු විය. රජයෙන් ලබාදෙන කූපනයක් ආධාරයෙන් භාණ්ඩ මිල දී ගැනීම සිදු වූ අතර මිල දී ගන්නා ප්‍රමාණ සීමා කෙරිණ. මෙය සිදු වූ ආකාරය මහජන චීන සමූහාණ්ඩුවේ 65 වන සැමරුම සඳහා සැකසුණු “ China 1949 - 2014 “ කෘතියෙහි තවත් සඳහන් වේ.
    “ නාගරික ග්‍රාමීය ප්‍රදේශවල රටේ නිෂ්පාදන ආර්ථිකය ගොඩනැඟීම උදෙසා සීමා කිරීම් කළා. එයින් ජාතික ආර්ථිකයක් ගොඩනැගෙන්න පටන් ගත්තා. එම දිරිගැන්වීමේ වාසිය මුළු චීනය පුරා පැතිරුණා. එයින් චීන ආර්ථිකය වැඩුණ වගේම ජනතාවගේ ජීවනෝපාය ද වර්ධනය වුණා. “ මාඕ සේඩොං ( Mao Zedong ) නම් වූ විශිෂ්ට චීන නායකයා මෙබඳු ක්‍රියාමාර්ගයකට පිවිසියේ ස්ථාවර රටක් ගොඩනැඟීමේ පවිත්‍ර චේතනාවක් මතයි. ඒ නිසාම පෙර තිබූ දූෂණ වංචා, සූදුව, මත්ද්‍රව්‍ය භාවිතයන් චීනය තුල ශීඝ්‍රයෙන් පහත වැටිණි. මාඕ සේඩොං නිතරම ප්‍රකාශ කර ඇත්තේ උසස් නිෂ්පාදන හා ජාතික ආරක්ෂාවක් ගොඩ නොනගා සංවර්ධනය කරා යා නොහැකි බවයි. එම නිසා ජනතාවට පොදු අයිතිය දෙන සමාජවාදී පසුබිම චීනය තුල ක්‍රියාත්මක කළේ ය. එරට ජනතාව එය හිස් මුදුනින් පිළිගැනිම රටට මහා භාග්‍යයක් විය. එම නිසා වේගවත් සංවර්ධනය, කර්මාන්ත ප්‍රවර්ධනය, ආර්ථික ඵලදායීතා අංගවල වර්ධනය, අභ්‍යන්තර දිශානත ආර්ථිකය, ආනයන ආදේශනයක් ලෙස ස්වාධීන නිෂ්පාදන ක්‍රියාවලිය යන අංශ අතිශය පුළුල් මට්ටමකට ප්‍රවර්ධනය වී තිබේ.


     1978 න් පසුව චීන සංවර්ධනයේ ශීඝ්‍රතාවය

    11 වන චින මහජන මණ්ඩලයේ මධ්‍යම සමුළුව පැවැත්විණි. ඒ 1978 වර්ෂයයි. එහි දී හදුන්වාදුන් විශේෂ චීන සංවර්ධන සංකල්පය වුයේ “ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය “ ( Reform And Opening Up ) යන්නයි. එතැන් සිට චීනයට නව සංවර්ධන මාවතක් විවර විය. චීන ලක්ෂණ ද සහිත සංවර්ධන ගමන ඉතා වේගවත් විණි. මෙයින් පසුව චීන සංවර්ධනය යම් විද්‍යාත්මක දෘෂ්ටියකට පැමිණ තිබේ.

    මාඕ සේඩොං, ඩංෂියා ඕ පිං, හු ජින්නාවෝ, ෂි ජින්පිං වැනි චීන නායකයින් තුල පැවති සංවර්ධනයේ විද්‍යාත්මක දෘෂ්ටිය ඉතා පුළුල් ය. ඒ අතර තුර 1960 – 80 දශකවල සංවර්ධන මාවතට පැමිණ සිටි ප්‍රධානතම රටවල් හතර වු සිංගප්පූරුව, තායිවානය, හොංකොං හා දකුණු කොරියාවේ ස්වරූපයන් ද හඳුනා ගනී. මෙම රටවල් හතර එවක හැඳින්වූයේ “ ආසියාවේ කොටින් හතර දෙනා “ ( Four Asian Tigers ) ලෙසයි. එහෙත් දැන් චීනය ආසියාවේ මහා බලවතෙකි.

    විශේෂයෙන්ම ඩෙංෂියා ඕ පිං හිටපු චීන නායකයාට සංවර්ධන මාවතේ ඉදිරිය පිළිබඳව ආශාවක් හටගන්නේ, 1974 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට යාමේ ප්‍රතිඵලයක් ලෙසයි. එහිදී චීනය හා අනෙකුත් සංවර්ධිත රටවල් අතර පරතරය ඔහු දුටුවේ ය. 1978 සිට සත්‍යගේ ප්‍රමිතිය සැකසීමේ සාකච්ඡා ( Discussion On The Standard Of Truth ) පුළුල් කෙරිණි. සමාජ නවීකරණය ගොඩනැඟීම උදෙසා “ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය “ යන සංකල්පය ගෙන ආවේ ඒ නිසයි.
    1978 න් පසුව ග්‍රාමීය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කළේ ය. ඒ ඔස්සේ සෑම නිවසකටම ගොවිපළ නිමැවුම් ක්‍රමයක් ඇරබිණි. එමෙන් ම නාගරික රැකියා නොමැති උගතුන් ග්‍රාමීය ප්‍රදේශවල වැඩ කටයුතු සඳහා යොමු කළහ. ඒ හරහා නාගරික උගත් තරුණ තරුණියන්ගේ රැකියා ගැටළුවට ද විසදුම් හිමි විය. මානසික විමුක්තිය ඇති කිරීම, රැකියා මාර්ග පුළුල් කිරීම යනාදී තීරණ නිසා 1978 න් පසුව මේ දක්වා ගෙවුණු වසර 41 ක කාලය චීන සංවර්ධනයේ ස්වර්ණමය යුගයයි.

    මෙම ක්‍රියාමාර්ග නිසා 1984 – 88 කාලය වසන විට නිෂ්පාදන පුළුල් වී ජාතික ආදායම 70 % කින් වැඩිණි. ග්‍රාමීය ජනතාවගේ මූල්‍ය ආදායම 200 % කින් ඉහළ නැගිණි. එහෙත් 1989 වන විට ජාත්‍යන්තර විරෝධී කුමන්ත්‍රණ චීනයට බලපාන්නට පටන් ගත්ත ද, ඇමරිකාව වැනි රටවල් විවිධ සම්බාධක පැනවුව ද, එම පීඩාවන්ට ඔරොත්තු දෙමින් ඉදිරිපිට පැමිණ සිටී. 1992 වන විට චීනය රටවල් 154 ක් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ද ඇතිකරගෙන තිබුණි. අද වන විට ජය - ජය මාදිලිය ( Win – Win Corporation ) කේන්ද්‍ර කරගනිමින් “ එක් තීරයක් - එක් මාවතක් “ ( Belt And Road ) නැමැති ගෝලීය සංවර්ධන සංකල්පයක් ද හඳුන්වා දී ක්‍රියාත්මක කරගෙන යයි.

    ඒ සඳහා චීනය සමඟ බැඳී ඇති රටවල් සංඛ්‍යාව 150 ඉක්මවයි. ඒ සෑම රටකම විවිධ ව්‍යාපෘති සඳහා චීන රජය විසල් ආයෝජන සිදුකරමින් සිටී. පාකිස්ථානය, පිලිපීනය වැනි රටවල් ඉතා උපක්‍රමශීලී ලෙස මෙම එක් තීරයක් - එක් මාවතක් සංකල්පය යටතේ සහයෝගීව නැගී සිටින්නට පටන් ගෙන ඇත.

     ජයග්‍රහණ රැසක් මැද චීනය සැමරූ 70 වන ජාතික දිනය

    1949 සිට මේ දක්වා ගොඩනැගුණු පුණර්ජීවන ගුණාංග හමුවේ චීනය මේ වනවිට සමාජ , ආර්ථීක , දේශපාලන මෙන්ම සංස්කෘතිකම ය ආදී වශයෙන් සමබර සංවර්ධනයක් කරා ගමන් කරමින් සිටී. යම් යම් අවස්ථාවන් වල දී පාරිසරික ගැටළු පිලිබඳව ගැටළු පැන නැගුණ ද ඒවා සමනය කිරීමේ ක්‍රියාමාර්ග ද ගන්නා බව පෙනේ. අභිවර්ධනාත්මක පසුතලය මත චීනය දෙස මිතුරු හා සතුරු ආකාරයට ද ලෝකයේ විවිධ රටවල් හා පාර්ශව අවධානය යොමුකරන්නට පටන්ගෙන තිබේ. චීනය සිය 70 වන ජාතික දිනය සැමරනු ලැබුවේ මෙබදු වාතාවරණයක් තුලයි. එය ලෝක අවධානයට යොමු වූ මහා උත්සවයකි.
    සුප්‍රසිද්ධ තියන්අන්මෙන් චතුරස්‍රය ඔක්තෝම්බර් 01 වනදා උදෑසන වන විට ලක්ෂයකට අධික ජනකායකින් පිරිණි. හමුදා උත්තමාචාර මධ්‍යයේ එම අවස්ථාවට චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් , ජනාධිපති , මධ්‍යම හමුදා කමිටු සභාපති ෂී ජින්පිං මහතා සම්ප්‍රාප්ත විය. ඒ මොහොතේ රැස්ව සිටි සියලු දෙනා ආසන මතින් නැගිට සිය අත තිබූ ජාතික ධජ ඔසවමින් ඔල්වරසන් දීම අලංකාර දර්ශනයකි. කෙටි අදහස් කිහිපයකින් රට ඇමතූ චීන ජනාධිපතිවරයා හමුදා උත්තමාචාර පිළිගනිමින් විශේෂ රථයකින් හමුදා අචාර පෙළපාලිය පිළිගනිමින් ගමන් කළේ ය. විචිත්‍රවත් මෙන්ම ගම්භිර හමුදා ආචාර පෙළපාලිය පටන් ගත්තේ ඉන් අනතුරුවයි.

    ත්‍රිවිධ හමුදාවේ 15000 ක භට පිරිසක් ආචාර පෙළපාලියට සහභාගී වූහ. එය අඛණ්ඩව මිනිත්තු 80 ක කාලයක් පුරා පැවැතිණ. අචාර පෙළපාලිය අවසන් වනවාත් සමගම චීනයේ සියලු යුධ ශක්තීන් විදහා දැක්වෙන නවීන යුධ උපකරණ ප්‍රදර්ශනය ආරම්භ විය. චීන ජාතික ආරක්ෂක අමාත්‍යංශයේ වාර්තා කිරිමට අනුව මෙම උළෙලට එක්කර තිබූ හමුදාවේ විවිධ අංග සංඛ්‍යාව 59 කි. විදි හරහා ගමන්කරවූ යුධ උපකරණ ප්‍රමාණය 580 කට අධික ය. ගුවන් යානා 160 ක් පමණ තියන්අන්මෙන් චතුරස්‍රයට ඉහළ අහසේ පියාසර කලේ , මනා සන්දර්ශනාත්මක අකාරයෙනි. චීනය අද පවතින තත්ත්වය දක්වා සාර්ථකව නගා සිටුවීමට උරදුන් දේශප්‍රේමීන් ගේ දැවැන්ත රූ ප්‍රදර්ශනයෙන් හද විවර වූ ජනයා එම දර්ශන අවසන් වන තෙක්ම ඔල්වරසන් දුන්හ. චීනය අද ලබා තිබෙන දියුණුව පෙන්වන විවිධ අංගවල අනු රූ ද වීදිය ඔස්සේ ගමන් කරවී ය. ආචාර පෙළපලිය ද සමග පැය තුනකට අධික කාලයක් පැවැති මෙම උත්සවය අවසන් වන තෙක්ම සිටගෙන සිටිමින් ජනතාවටත්, හමුදා පෙළපාලියටත් ආචාර කළ ෂී ජින්පිං ජනාධිපතිවරයා සිය ජනතා අභිලාශී , දේශාභිලාශී බව ප්‍රදර්ශනය කළේ ය. පරවියන් දස දහස් ගණනක් අහසට මුදාහැර ලක්ෂ ගණනක් බැලූන් අහසේ ප්‍රදර්ශනය කර චීනයේ 70 වන ජාතික දිනය සැමරූ උත්කර්ශවත් උත්සවය අවසන් කළේ ය.

     චීන ජනාධිපතිවරයා ජාතික දිනයේ දී කෙටියෙන් කළ සාරවත් කතාවේ සාරාංශය
    චීන සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසුව චීනයේ දිළිඳු බව මෙන්ම දුර්වලතාවන් වෙනස් වී තිබේ. චීනයේ ජනතාව සුන්දර ජීවිත කරා දරන අභිලාසයන් හදුනාගනිමින් , රටේ එක්සත්භාවය පිළිබඳව උද්යෝගීව උත්සාහ කරමින් ලෝ වැසියන් සමඟ පොදු ඉරණමක් ඇති , මානව පොදු ප්‍රජාවක් ගොඩනැගීමට අඛණ්ඩව තැත්කළ යුතුයි. එහිදී සාමකාමී එක්සත් බව ඉතා වැදගත් වේ. දැන් කිසිඳු බලාවේගයකට චීනයේ ඉදිරි ගමනට බාධා එල්ලකළ නොහැකිය. අපේ රට දැන් නැගෙනහිර ලෝකයේ
    ස්ථිර ලෙස නැගී සිටී. “සාමකාමී එක්සත්භාවය’ සහ ‘එක් රටක් ක්‍රම දෙකක්’ යන මූලධර්ම චීනයේ එක්සත් වීම සාක්ෂාත් කර ගැනීමට නිර්මාණශීලිත්ව සංකල්පය හා මනාම ක්‍රමයයි. හොංකොං හා මැකව් යන විශේෂ පරිපාලන කලාප දෙකේ එම ක්‍රම සාර්ථකව ක්‍රියාත්මක කර ඇතැයි දක්නට ලැබේ. මේ අතර සාම සංවර්ධනයේ නියැළී සිටීම යන්න චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් හා චීන ජනතාව වෙනුවෙන් ෂී ජින්පිං මහතා ලෝකයට සිදු කළ ස්ථිර ප්‍රතිඥාවකි. චීන ජනතාව සමගියේ ධජය ඔසවනු ලැබුවහොත්, ඕනෑම බලවේගයකට චීනයේ ස්ථානය වෙනස් කිරීමට ද චීන ජනතාවගේ ඉදිරි ගමනට බාධා කිරීමට ද නොහැකි වනු ඇත.

    ෂෙල්ටන් ඉන්දික බණ්ඩාර
    චීන සංචාරයෙන් පසු

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya