අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 42කට පසු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමක් යාපනයේ තරගයක

    ජූලි 05, 2014

    යාපනය ඒකාබද්ධ පාසල් ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියාවේ යාරා වැලි (Yarra Valley) ක්‍රිකට් කණ්ඩායම අතර 4 වන සිකුරාදා යාපනය මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රිකට් පිටියේ පැවති විස්සයි-20 තරගයෙන් පහසු ජයක් අත්කර ගැනීමට යාපනය කණ්ඩායමට හැකිවිය.


    Foundation Of Goodness  ආයතනයේ අනුග්‍රහය ඇතිව යාපනය ආරක‍්ෂක සේනාව විසින් සංවිධානය කරන ලද මෙම තරගයට ප්‍රධාන අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මහතා සහභාගි විය.


    කාසියේ වාසිය දිනාගනිමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ඇලන් රාජ්ගේ නායකත්වයෙන් යුත් යාපනය ඒකාබද්ධ පාසල් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුළු 4 කට 6 පහරවල් 4 ක් ඇතුළුව ලකුණු 183ක් ලබාගත්හ. පිළිතුරු වශයෙන් ටයිසන් ස්මිත්ගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියන් කණ්ඩායමට පන්දුවාර 13ක් අවසානයේ ලබාගත හැකි වූයේ ලකුණු 53ක් පමණි. යාපනය මධ්‍ය මහා විද්‍යාලය, යාපනය හින්දු විද්‍යාලය, ශාන්ත ජෝන් විද්‍යාලය, ශාන්ත පැට්‍රික් විද්‍යාලය, පේදුරුතුඩුව හාර්ට්ලි විද්‍යාලය හා චුන්නාකම් ස්කන්ධ වරෝඩෙයි යන විද්‍යාලවල ක්‍රිඩකයින්ගෙන් යාපනය ඒකාබද්ධ කණ්ඩායම සමන්විත විය.


    හින්දු විද්‍යාලයේ ආර්. කජනන්, ස්කන්ධ වරෝඩෙයි විද්‍යාලයේ ආර්. කඩෝලියන් හා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලොච්යි සිනෙට් යන ක්‍රීඩකයින් පිළිවෙළින් හොඳම පිතිකරු, හොඳම පන්දු රකින්නා හා සෑම අතින්ම දක‍්ෂ ක්‍රීඩකයා ලෙස ත්‍යාග ලබාගත්හ.


    ජයග්‍රාහී කණ්ඩායම මෙන්ම අනෙක් කණ්ඩායමද කුසලාන, පදක්කම් හා වටිනා ත්‍යාග යාපනය ආඥාපති මේජර් ජෙනරල් උදය පෙරේරා මහතා හා පැමිණ සිටි ප්‍රභූන් අතින් ලබාගත්හ.


    1972 වර්ෂයේ ඕස්ට්‍රේලියානු පාසල් කණ්ඩායමක් හා යාපනයේ ඒකාබද්ධ පාසල් කණ්ඩායමක් අතර මෙම ක්‍රිඩාපිටියේදී පැවති සුහද ක්‍රිකට් තරගය යාපනයේ වැඩිහිටි ක්‍රිකට් ලෝලීන් හට මතකයට ගෙන ඒමට මෙම අවස්ථාව සමත්විය. එම තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නායකත්වය දී ඇත්තේ පසුව ජාත්‍යන්තර ක්‍රිකට් තරුවක් වූ ඇලන් බෝර්ඩර් මහතාය. යාපනය හින්දු විද්‍යාලයේ සූරිය කුමාර් මහතා යාපනය ඒකාබද්ධ පාසල් කණ්ඩායමට නායකත්වය දී ඇත. එවකට එම කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ව සිටි දැනට යාපනය දිස්ත්‍රික්කයේ ක්‍රීඩා අධ්‍යාපන අධ්‍යක‍්ෂවරයෙකු වන ශන්මුගම් දයාලන් මහතා ද මෙම ඓතිහාසික තරගය නැරඹීමට පැමිණ සිටීම විශේෂත්වයකි.


    Foundation Of Goodness සංවිධානයේ සභාපති කුසිල් ගුණසේකර මහතා මෙවර ඕස්ට්‍රේලියානු කණ්ඩායම සම්බන්ධීකරණයෙන් හා අනුග්‍රහය දැක්වීමෙන් මෙම තරගයේ ප්‍රධාන සංවිධායක වූ යාපනය ආරක‍්ෂක සේනාවට සහය දැක්වීය. ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙක් වූ ගෞරවනීය අමුත්තෙකු ලෙස සහභාගි වූ ප්‍රේමසර ඈපාසිංහ මහතා සුපුරුදු පරිදි විස්තර ප්‍රචාරයෙන් සහය දැක්වීය. යාපනය දිස්ත්‍රික් ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ පී. මුරුගවේල් හා එන්. සිවරාජා යන විනිසුරුවරුන් තරගය විනිශ්චය කළහ.


    ආගමික නායකයින් මෙන්ම යාපනය දිසාපති එස්. අරුමෙයිනායගම්, යාපනය නගරාධිපතිනි වයි. පත්ගුණරාසා, යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිනි එස්.කේ. එලිල්වෙන්දන්, ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරු ඩේවිඩ් පීල් හා කළමනාකරු, ප්‍රින්ට් විට් හා යාපනය කණ්ඩායමේ පුහුණුකරු ලක‍්ෂිත හේරත් යන මහත්ම මහත්මීහුද තරගය නැරඹූහ.


    HC/mod

    australian criket team in jaffna 1

    australian criket team in jaffna 2

    australian criket team in jaffna 3

    australian criket team in jaffna 4

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya