අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම නංවන්න, සෑම ගමකට ම රුපියල් ලක්ෂ 20 බැගින්- රුපියල් මිලියන 28,042ක්

    දෙසැම්බර් 23, 2019

    ග්‍රාමීය ජනතාවගේ සමාජ ආර්ථික තත්ත්වය දියුණු කිරීම සඳහා ඔවුන්ගේම යෝජනා මත ගම සංවර්ධනය කිරීම උදෙසා ‘සපිරි ගමක්‘ නමින් ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

    මෙම වැඩසටහන යටතේ 14,021ක් වූ ශ්‍රී ලංකාවේ සියලුම ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට එක් වසමකට ආරම්භයේ දී රුපියල් ලක්ෂ 20 බැගින් මුදල් වෙන් කෙරේ. 2020 ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 28,042ක් 2020 වසර තුළ මුදල් අමාත්‍යාංශය වෙත වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

    ග්‍රාමීය ජනතාවගේ රැකියා සහ ජීවනෝපාය අවස්ථා වර්ධනය කිරීම සේම විශේෂයෙන් ම තරුණ තරුණියන් සහ කාන්තාවන් අතර ස්වයං රැකියා උත්පාදනයට සහ ආදායම් මාර්ග වැඩි දියුණු කිරීමට අවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි මෙහි දී වැඩි අවධානයක් යොමු කෙරේ.
    ‘සපිරි ගමක්‘ වැඩසටහන යටතේ ව්‍යාපෘති තෝරා ගැනීමේ දී ප්‍රමුඛත්වය ලබා දිය යුතු ක්ෂේත්‍ර 09ක් හඳුනාගෙන ඇත. ග්‍රාමීය මාර්ග, බෝක්කු, කුඩා පාලම් සහ පැති කාණු ඉදි කිරීම යන යටි තල පහසුකම් සංවර්ධනයට ඉඩ සැලසේ. එමෙන් ම කෘෂි නිෂ්පාදනයට අවශ්‍ය ගබඩා පහසුකම් සකස් කිරීම, සතිපොළ, කඩමණ්ඩි ඇතුළු ග්‍රාමීය ආර්ථික මධ්‍යස්ථාන පිළිසකර කිරීම, කුඩා වැව්, ඇළ මාර්ග, දිය පොකුණු කෘෂි ළිං ආදිය ඉදිකිරීම හා පිළිසකර කිරීමට ද ප්‍රමුඛත්වය හිමිවේ. මීට අමතරව ප්‍රජා පානීය ජල ව්‍යාපෘති, ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථාන සංවර්ධනය හා නවීකරණය, පාසල් සඳහා විදුලිය, ජල සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම සහ ග්‍රාමීය ආර්ථික සංවර්ධනයට ඍජුවම දායක වන භෞතික යටිතල පහසුකම් නංවාලීමේ ව්‍යාපෘති සඳහා මෙම වැඩසටහන යටතේ ප්‍රමුඛත්වය හිමිවේ. මෙම එක් ව්‍යාපෘතියක වටිනාකම අවම ලක්ෂ 5ක්වත් විය යුතු අතර උපරිම වටිනාකම රුපියල් ලක්ෂ 20කි.

    මෙම සංවර්ධන ව්‍යාපෘති ප්‍රමුඛතා පදනමින් හඳුනා ගැනීම සහ ක්‍රියාත්මක කිරීම ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් සහ ග්‍රාමීය ජනතාවගෙන් සැදුම්ලත් ‘ග්‍රාමීය ප්‍රජා කමිටුවක්‘ විසින් ම සිදු කිරීම මෙම වැඩසටහනේ විශේෂත්වයකි. තව ද අදාළ ග්‍රාම සේවා කොට්ඨාසය තුළ සිටින සියලු රජයේ නිලධාරීන් මෙයට සහභාගී කර ගත යුතු වේ. ප්‍රාදේශීය ලේකම් විසින් අදාළ ග්‍රාම නිලධාරී වසමේ සංවර්ධන නිලධාරී මෙම කමිටුවේ කැඳවුම්කරු ලෙස පත් කළ යුතු ය.

    අදාළ කමිටු පිහිටුවීම දෙසැම්බර් මස 27 වැනි දිනට පෙර සිදු කළ යුතු අතර දෙසැම්බර් මස 31 වැනි දිනට පෙර අදාළ ව්‍යාපෘති දිස්ත්‍රික් ලේකම්වරයාගේ අනුමැතියට ඉදිරිපත් කළ යුතු ය. 2020 ජනවාරි මස 15 දිනට පෙර අදාළ ප්‍රතිපාදන ඉල්ලා සිටිය යුතු අතර ප්‍රතිපාදන ලද වහාම ප්‍රජා මූලික සමිති හරහා මෙම ව්‍යාපෘති ක්‍රියාවට නැංවේ. මෙසේ ආරම්භ කෙරෙන සියලුම ව්‍යාපෘති 2020 නොවැම්බර් මස 30 වැනි දිනට පෙර අවසන් කළ යුතු අතර එහි වගකීම දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරේ. මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවක් මත ක්‍රියාත්මක මෙම වැඩසටහනේ සියලු ම ව්‍යාපෘති රජයේ අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා මුදල් රෙගුලාසි අනුව ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්තිය අනුව ග්‍රාමීය සංවර්ධනය තුළින් ප්‍රාදේශීය විෂමතා අවම කිරීමේ අරමුණෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ජාතික මට්ටමෙන් මෙම වැඩසටහන අධීක්ෂණය කෙරෙන අතර සෑම මසකම 10 වැනි දා වන විට දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසින් ව්‍යාපෘති ප්‍රගති සමාලෝචන වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya