මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් 2,575 කට සහන පොළී ණය රු.කෝටි 1,080 ක් ලබා දීලා තියෙනවා

    ඔක්තෝබර් 18, 2018

    කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය SMILE ණය යෝජනා ක්‍රමය ආරම්භ කළ බවත්, එම ව්‍යාපෘතියේ චක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රමය යටතේ මේ වන විට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් 2,575 ක් සඳහා, රුපියල් කෝටි 1,080 ක් පමණ ණය මුදල් ලබා දී තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය. මෙහිදී ඉදිරි අය වැය සඳහා යෝජනා මෙන්ම ගියවර අය වැයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට වෙන් කරන ලද මුදල් ඵලදායීව වැයකර ඇති ආකාරය පිළිබඳව සමාලෝචනය කෙරුණි. එසේම අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප්‍රගතියද මෙහිදී අමාත්‍යවරයාගේ විමසුමට ලක්වුණි.

    කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තයන්හි නායකත්වය සහ ව්‍යවසායකත්වය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය හෙවත් SMILE ව්‍යාපෘතියේ චක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රමය යටතේ මෙම ණය මුදල් බැංකු මගින් ලබා දේ.

    මේ වන විට සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත 2,575 ක් සඳහා රුපියල් මිලියන 10,783 ක් හෙවත් රු.කෝටි 1078.3 ක ණය ආධාර ප්‍රදානය කර තිබේ. මෙම ණය මුදල් ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව,DFCC බැංකුව, කොමර්ෂල් බැංකුව හා සණස සංවර්ධන බැංකුව මගින් ලබාදී තිබේ. මෙම ණය මුදල් රටේ පළාත් 9 ම ආවරණය වන පරිදි ව්‍යවසායකයින්ට ලබා දී තිබීමද විශේෂත්වයකි.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්  මහතා මෙසේද පැවසීය.

    අපි රටේ සෑම පළාතකම සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්යට ණය මුදල් ලබා දී තිබෙනවා. ඒ වගේම පවතින කර්මාන්තශාලාවලට මෙන්ම අලුත් කර්මාන්තවලටත් මේ ණය ඉල්ලා තම කර්මාන්ත ව්‍යාපෘතිය ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා මම අපේ රටේ කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ට මේ ණය ලබා ගෙන ඔබගේ ව්‍යාපාර දියුණු කරගන්න කියලා ආරාධනා කරනවා. අපගේ දළ දේශීය නිෂ්පාදනය සඳහා කර්මාන්ත අංශයෙන් සියයට 30 ක දායකත්වයක් සපයනවා. අපගේ මෙම SMILE ණය යෝජනා ක්‍රමයේ ප්‍රධාන අරමුණක් වන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල මූල්‍ය කටයුතුවලට සහයෝගය ලබා දෙමින්, ඔවුන්ට නව ව්‍යාපාර ආරම්භ කිරීමට හෝ පවතින ව්‍යාපාර වැඩි දියුණු කර ගැනීමටත්, එම ව්‍යාපාරවල ආර්ථිකමය හා මූල්‍යමය ශක්තිය වර්ධනය කරමින් වඩාත් ශක්තිමත් ව්‍යවසායකයෙකු බවට පත් කිරීමටයි. අපි මේ වන විට අපගේ එම ඉළක්කය සම්පූර්ණ කිරීමට පියවර ගෙන තියෙනවා. අපි මේ ණය යෝජනා ක්‍රමය යටතේ කෘෂිකර්මාන්තය, සත්ත්ව නිෂ්පාදන, උද්‍යාන වගාව, විසිතුරු මත්ස්‍ය වගාව, රසායන හා රසායන නිෂ්පාදන ක්‍ෂේත්‍රය, කොහු කර්මාන්තය, ඉදිකිරීම්, ධීවර, ආහාර සැකසුම්, බීමවර්ග, සෞඛ්‍ය සේවා නිෂ්පාදන, ලෝහ, ප්ලාස්ටික්, ලී බඩු නිෂ්පාදන, රබර්, ඇඟලුම්, පාවහන් නිෂ්පාදන, සංචාරක හා හොටෙල් ක්‍ෂේත්‍රය මෙන්ම මුද්‍රණ හා කඩදාසි නිෂ්පාදන කර්මාන්ත සඳහා ද ණය ලබා දෙනවා. එහිදී පරිසර හිතකාමී හරිත කර්මාන්ත සඳහා අවශ්‍ය දිරිය හා සහයෝගය අප ලබා දෙනවා. අපි මේ රටේ ජනතාවට, සරසවි සිසුන්ට කියන්නේ ඔබගේ දැනුම භාවිතා කරලා අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන ව්‍යාපාර ආරම්භ කරන්න ඉදිරිපත් වෙන්න අපි ඔබට සහයෝගය හා ශක්තිය ලබා දෙන්නම්." යැයි පැවසීය.

    මෙම අවස්ථාවට අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම ආයතන ප්‍රධානීන් හා අංශ ප්‍රධානීන් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya