ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් දීර්ඝ කරන ලද අරමුදල් පහසුකම් යටතේ ඇ.ඩො. බිලියන 1.5ක ණය මුදලක් වසර තුනක් සඳහා ශ්‍රී ලංකාවට ලබා දීමට 2016 වසරේ ජූනි මස 03 දා එකඟ විය. එහි තවත් වාරිකයක් ලෙස ඇ.ඩො. මිලියන 252ක් පසුගිය දා අනුමත වූ අතර, එම මුදලත් සමග මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබී ඇති මුදල ඇ.ඩො. මිලියන 1014ක් වේ. පසුගිය සතියේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රගතිය පිළිබඳ සමාලෝචනය කළ අතර මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සමග ද ඔවුහු සාකච්ඡා පැවැත්වූහ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකාව ආර්ථික ක්ෂේත්‍රයේ සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේය. ජාතික ආදායම වැඩි කරමින් මූල්‍ය ඒකාග්‍රතාවය ශක්තිමක් කිරීමට මෙම රජය විසින් ගනු ලැබූ පියවරයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක් වීය. රාජ්‍ය ආදායම් වැඩි කිරීම සඳහා සාධනීය පියවර රැසක් ගෙන ඇති අතර ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීම ද ආර්ථිකය ශක්තිමත් කිරීමේ සාධනීය වැඩසටහන් බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හඳුනාගෙන තිබේ.
වසරේ ඉදිරි කාලය තුළ දී ශ්‍රී ලංකාව වෙත තවත් මුදල් ලැබීමට නියමිත ය හම්බන්තොට වරාය බදු දීමේ අවසන් වාරිකය වන ඇ.ඩො. මිලියන 585ක් සහ චීන සංවර්ධන බැංකුවෙන් ලබා ගන්නා ඇ.ඩො. බිලියනයක ණය මුදල ද දැක් විය හැකි ය. තවත් ඇ.ඩො. මිලියන 250ක මුදලක් ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දීමට නියමිත ය. ඒ අනුව මෙම වසර අවසන් වන විට තවත් ඇ.ඩො. බිලියන 02කට ආසන්න මුදලක් ශ්‍රී ලංකාවට හිමි වීමට නියමිත අතර, ඒ සමගම විදේශ සංචිත ප්‍රමාණය ඇ.ඩො. බිලියන 9.5 දක්වා වැඩි වීමට නියමිත ය. වසර ගණනකට පසු ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව වැඩි වීමක් පෙන්නුම් කිරීම විශේෂත්වයකි.
ඉදිරි වසර හතර - පහ තුළ වසරකට ඇ.ඩො. බිලියන 3.9ක පමණ මුදලක් ණය වාරික වශයෙන් ගෙවිය යුතු වේ. ඉතා සංයමයෙන් යුතුව විදේශ සංචිත හැසිර විය යුතු බැවින් එයට සරිලන අයුරින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශ සංචිත ක්‍රමිකව ගොඩනගමින් පවතින අතර මෙය ඉදිරි වසරවල දී ණය කළමනාකරණය සඳහා බෙහෙවින් උපකාරී වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගිය දා ප්‍රකාශ කළේය.
පසුගිය රජය විසින් 2007 වසරේ සිට ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් වාණිජ පොලිය මත ලබා ගත් ණය එකවර කල් පිරීම හේතුවෙන් සහ එම කාලය තුළ අපනයනය වැඩි කිරීම සඳහා දිගු කාලීන සැලසුම් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මෙසේ ණයබරතාව උග්‍ර වී ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.