මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීති විරෝධීව විදේශ රැකියා සඳහා යොමුවීමට විරුද්ධව දැඩි දඬුවම්

    ජූනි 04, 2018
    නීති විරෝධී ලෙස පුද්ගලයින් විදේශ රැකියා සඳහා පිටත්ව යාමට විරුද්ධව දැඩි පියවර ගන්නා බවත් එසේ නීති විරෝධී ලෙස පුද්ගලයින් රැකියා සඳහා පිටත්කරන යවන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන දැඩි දඬුවම් පමුණවන බවත් විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
     
    විදේශ රැකියාවල නිරතව සිටියදී මිය ගිය පුද්ගලයින් සඳහා වන වන්දි ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවති උත්සවයකදී අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
     
    ස්වභාවික හේතු සහ වෙනත් හේතු නිසා මිය ගිය පුද්ගලයින් විසි දෙදෙනෙක් සඳහා මෙහිදී වන්දි පිරිනැමිණි. ඒ අනුව දේශීය රක්ෂණ අරමුදල්වලින් රුපියල් ලක්ෂ හැටක මුදලක් සහ විදේශීය රක්ෂණ අරමුදලින් රුපියල් ලක්ෂ දහයක් ලෙස රුපියල් ලක්ෂ හැත්තෑවක වන්දි මුදලක් පිරිනමා ඇත.
     
    "නීති විරෝධී ආකාරයට මැලේසියාවේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් පසුගියදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා. කිසිඳු ලියාපදිංචියක් නොමැතිව මේ අය මුදල් ලබාගෙන රැකියා සඳහා පිටත් කර යවනවා. එසේ රැකියා සඳහා පිටත් කර යවන විට ඒ අයගේ සුරක්ෂිතතාවය පිළිබඳ සොයා බලන්න බැහැ. ඇතැම් අවස්ථාවලදී කොරියා රැකියා ලබාදෙන බව කියමින් මුදල් ගරන ජාවාරම්කරුවන් පිළිබඳවත් තොරතුරු අපිට ලැබෙනවා. ඒ ගැනත් අපි අවධානය යොමු කර තිබෙනවා. කිසිම අවස්ථාවකදී ජාවාරම්කාර අතරමැදියන්ට මුදල් ලබාදෙන්න එපා" යැයි ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
     
    "විදේශ රැකියාවක් සඳහා පිටත්ව යන සෑම අයෙක්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී යන්න කියලා කියන්නේ හේතුවක් ඇතිවයි. රැකියාවක් සඳහා යන විට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී එම ශ්‍රමිකයා සම්බන්ධයෙන් අපිට බැඳීමක් තිබෙනවා. එම ශ්‍රමිකයා සේවය කරන්නේ කුමන ස්ථානයේද යන්න ගැන අපිට සෑම අවස්ථාවකදීම බලාගන්න පුලුවන්. ඒවගේම කිසියම්  කරදරයක් සිදුවුනොත් වහාම මැදිහත්වීමේ හැකියාව තිබෙනවා. එසේ නොමැතිව ලියාපදිංචි නොවී නීති විරෝධී ආකරයට විදේශගතවී කිසියම් අනතුරකට ලක් වුවහොත් ඒ ශ්‍රමිකයා සිටින තැන සොයා ගැනීමට අපහසු වෙනවා. ඒ වගේම තමයි ශ්‍රමිකයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේදීත් විවිධ බාධා ඇතිවෙනවා. එහෙත් ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා පිටත්ව යන අයගේ අයිතීන් හා සුරක්ෂිතාවය වෙනුවෙන් අපිට පෙනී සිටින්න පුළුවන්".
     
    "අද වන්දි පිරිනමන බොහෝ අය ස්වභාවික හේතු නිසා මිය ගිය අය. එහෙත් ලියාපදිංචිවී විදේශගතවී ඇති නිසා ඔවුන්ට රක්ෂණ වන්දි ලබාදීමට හැකිවී තිබෙනවා. ඒ වගේම තමයි ඔවුන්ගේ පවුල්වල අය, අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් සුභසාධන අංශය හරහා අවශ්‍ය පියවර ගැනීමට හැකිවී තිබෙනවා. අපි ඒ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඕනෑම සහායක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. අපේ අමාත්‍යාංශය භාර කැබිනට් ඇමැතිවරයා ලෙස හරීන් ප්‍රනාන්දු ඇමැතිතුමා ඒ සඳහා අවශ්‍ය සියලු ම මැදිහත්වීම් කරන" බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාව සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. එම්. වී වනසේකර මහතා සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya