සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂිත විදුලිවැටවල් ගැන සොයා බලන සමිති හා සංවිධාන වෙනුවෙන් මුදල්

    ජූලි 26, 2017
    වන අලින් ගම්වැදීම වළකාලීමට ඉදිකරන ආරක්ෂිත විදුලි වැටවල් සොයාබැලීමට පත්කරන විවිධ සමිති හා ගොවි සංවිධාන වෙනුවෙන්  යම් මුදලක් ගෙවීමට කඩිනමින් කටයුතු කරන බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කරයි.
     
    දැනට රට පුරා ඉදිකර අවසන් කර ඇති ආරක්ෂිත විදුලි වැටවල දුර ප්‍රමාණය කිලෝමීටර් 3861 ක් බවත් දැනට රටපුරා ඉදිකෙරෙමින් පවතින විදුලි වැටවල්වල දුර ප්‍රමාණය කිලෝමීටර්  457ක් බවත් සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
     
    නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ පසුගියදා මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීමකදීය.
     
    "දැනට රටපුරා ඉදිකෙරෙමින් පවතින කිලෝමීටර් 457ක් දුර ආරක්ෂිත විදුලි වැටවල්වල වැඩ කටයුතුද කඩිනමින් අවසන් කරන්න වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදීල තියෙනවා. දැනට රට පුරා ඉදිකර අවසන් කර තිබෙන කිලෝමීටර් 3861ක දුරකින් යුත් ආරක්ෂිත විදුලිවැටවල් නඩත්තු කරමින් ඒවා ගැන සොයාබැලීම සිදුකරන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් හාරසියයකට අධික සිවිල් ආරක්ෂක නිලධාරීන් ඒ සඳහා යොදවා තිබෙනවා. අලුතින් ඉදිකරන ආරක්ෂිත විදුලිවැටවල් නඩත්තුකර ඒවා සොයාබැලීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් ඉල්ලා සිටියත් ඒ සඳහා එම නිලධාරීන් යොදවන්න නොහැකිවෙලා තිබෙනවා. විවිධ රාජකාරි සඳහා යොදවා තිබෙන නිසා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලබාගන්න ක්‍රමයක් නැහැ. එම නිසා ඊට විකල්පයක් ලෙස විවිධ සමිති, ගොවි සංවිධාන ගම් මට්ටමින් ආරක්ෂිත විදුලිවැට නඩත්තු කිරීමට යොදවලා ඔවුන්ට යම් දීමනාවක් ලබාදෙන්න අවධානය යොමුවෙලා තියෙනවා. තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ උපදෙස් පරිදි එම කටයුතු සිදුකිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට වැඩපිළිවෙළක් සකස්කරමින් පවතිනවා".
     
    ආරක්ෂිත විදුලිවැට දෙපැත්තෙන් දෙහි, හණ, පතොක් වැනි අලියා අකමැති ශාඛ වර්ග වැවීම සඳහා ද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනවා. ආරක්ෂිත විදුලි වැටවල් සකස් කළද ඒවා නිසි පරිදි නඩත්තු නොවීම නිසා වන අලින් නැවත ගම්වදිනවා. මේ තත්වයන් අවම කරගැනීම සඳහා ආරක්ෂිත විදුලි වැටවල් නඩත්තු කිරීම පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ, ගොවි සංවිධානවල හා ගම්වාසීන්ගේ සහයෝගය හා අවධානය සෑම විටම තිබිය යුතුයි.” යනුවෙන් ද  තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
     
    තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශයේ ලේකම් ආර්. එම්. ඩී.බී. මීගස්මුල්ල, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. සී. සූරියබණ්ඩාර, මොණරාගල අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීහු ගොවි සංවිධානවල නියෝජීතයෝ සහ විවිධ ග්‍රාමීය සමිතිවල නියෝජීතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya