අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට රුපියල් බිලියන 8ක්

    ජූලි 06, 2017
    යහපාලන රජය බලයට පත්ව ගෙවුණු වසර දෙක හමාරක කාලය තුළ පාසල්වල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් බිලියන 8 ක ප්‍රතිපාදන ලබා දී ඇති බවත් ඒ අතර පාසල් තුළ වැසිකිළි 26,000 ක් ඉදිකිරීමේ කටයුතු මේ වසර අවසාන වන විට නිම කිරීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය. 
     
    අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළේ පසුගිය දා අපේ ගම පරිශ්‍රයේ පැවති ජල හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ වැඩසටහනට (WASH) තෝරා ගත් පාසල්වල විදුහල්පතිවරුන්ට චෙක්පත් ලබා දීමේ උත්සවයේ දීය.
     
    සෑම පාසල් දරුවන් පනහකට වැසිකිළියක් බැගින් හා ගුරුවරුන් පනහකට වැසිකිළියක් බැගින් තිබිය යුතුය යන ජාත්‍යන්තර සනීපාරක්ෂක නිර්ණායකය අනුව මෙරට පාසල් පද්ධතියට සනීපාරක්ෂක පහසුකම් ලබාදීමේ ඉලක්කය සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිඳුරටත් කියා සිටියේය.
     
    තොරතුරු සන්නිවේදන තාක්ෂණය වර්තමානයේ අත්‍යාවශ්‍ය විෂය ක්ෂේත්‍රයක් වී ඇති බැවින් පරිගණක තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂය පාසල් විෂය මාලාව තුළ අනිවාර්ය කිරීමට කටයුතු කරන බවත් එම විෂය ඉගැන්වීමට සුදුසු ගුරුවරුන් ප්‍රමාණවත් පරිදි බඳවාගැනීමෙන් එය සාර්ථකව ඉටු කළ හැකි බවත් අමාත්‍යවරයා පැවසීය. එමෙන් ම උපාධිධාරී ගුරුවරුන් බඳවාගැනීමේ දී අදාළ විෂයට උපාධියක් සහිත ගුරුවරුන් පමණක් බඳවා ගැනීමට රේඛීය අමාත්‍යාංශය යටතේ කටයුතු කරන බව ද පවසන ලදී.
     
    මේ වන විට පවතින ඩෙංගු මදුරු උවදුරෙන් පාසල් දරුවන් විශාල ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇති බවත් ඒ පිළිබඳ විශේෂ අවධානය යොමුකරමින් පාසල්වල පවිත්‍රතාව ඇති කිරීමට වි‍ශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 
     
    ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය සිදු කළ අධ්‍යයනයන් සහ සෞඛ්‍ය අංශ විසින් දක්වා ඇති සංඛ්‍යා ලේඛන අනුව හෙලිදරව් වී ඇත්තේ ඩෙංගු රෝගයට වැඩි වශයෙන් පාසල් ශිෂ්‍යාවන් හා පහළ ශ්‍රේණිවල කොට කලිසම් අඳින සිසුන් ගොදුරු වී ඇති අතර ඊට හේතු වී ඇත්තේ ඔවුන්ගේ ශරීරය වැඩි වශයෙන් නිරාවරණය වී පැවතීම බව හඳුනාගෙන තිබේ. මීට තාවකාලික විකල්පයක් ලෙස ඩෙංගු අවදානම සහිත කලාපවල පාසල් සිසුවියන්ට ගවුමට අමතරව ශරීරය ආවරණය කරගැනීමට සුදුසු ඇඳුමක් භාවිත කිරීමටත් පහළ ශ්‍රේණිවල පාසල් සිසුන්ට කොට කලිසම් වෙනුවට දිග කලිසම් ඇඳීමටත් මෙම කාලය තුළ පමණක් අවසර ලබාදෙමින් චක්‍රලේඛයක් ඉදිරි දින කිහිපය තුළ නිකුත් කිරීමට කටයුතු කර ඇති බව අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය. 
     
    එමෙන්ම සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි ඩෙංගු උවදුරෙන් ආරක්ෂාවීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිපැදීමටත් පාසල්වල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් මේ වන විටත් උපදෙස් ලබා දී තිබේ.
     
    සෞඛ්‍ය සම්පන්න සහ ක්‍රියාශීලී දරු පරපුරක් පාසල් පද්ධතිය තුළ ගොඩනැඟීම වෙනුවෙන් ‍අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන පාසල් සෞඛ්‍ය වැඩපිළිවෙළෙහි එක් ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙස “සනීපාරක්ෂාව පෙරට” යන තේමාවෙන් ජල හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
     
    මෙම උත්සවයේ දී 2017 අයවැය යෝජනා අනුව පාසල්වල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ කටයුතු සඳහා පාසල් 1633ක් වෙත රුපියල් මිලියන 1869 ක් වටිනා චෙක්පත් ලබා දීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
     
    මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya