මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල වන අලි උවදුරු වැළැක්වීමට මිලියන 85ක්

    මැයි 29, 2014

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන අලි උවදුරට පිළියම් යෙදීමට රුපියල් මිලියන 85ක වියදමින් විශේෂ වැඩසටහනක් සකස් කිරීමට පසුගියදා කුරුණැගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති වන අලි කමිටුවේදී තීරණය විය.

     

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන අලි තර්ජනවලට ලක් වන ප්‍රදේශවල ජනතාව වන අලි උවදුරට පිළියම් ලබා දෙන ලෙස ජනාධිපතිතුමන්ගෙන් කළ ඉල්ලීමකට අනුව දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ සංවර්ධන කාර්යයක් ලෙස මෙම අලි වැට ඉදිකිරීම් කටයුතු සිදු කළ බවත්, දේශපාලන නායකයින් රජයේ නිලධාරීන් හා ගම්වාසීන් එකතු වී ඉතා ඉක්මනින් මෙම කටයුතු කළ යුතු බවත්, මෙම අවස්ථාවට එක් වූ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා පැවසීය.

    වන අලි තර්ජන පවතින ප්‍රදේශවල අලි වැටක් පැවතුණද නිසි නඩත්තුවක් නොමැතිකමින් ඒවා කැඩී ගොස් අලි ගම්මානවලට පැමිණෙන බැවින් ඔවුන් පන්නා දමා අලි වැට ඉදිකර එය ස්ථාවරව පවත්වා ගැනීමට සිවිල් ආරක්ෂක හමුදාවේ සහය ඇතිව ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කිරීමට මෙම කමිටුවේදී තීරණය විය.

    පොල්පිතිගම, ගල්ගමුව, කොබෙයිගනේ, නිකවැරටිය, අඹන්පොළ, රස්නායක පුර, ගිරිබාව, මහව, ඇහැටු වැව, කොට වෙහෙර යන ප්‍රදේශ වල් අලි හානි සිදුවන ප්‍රදේශයි. මෙම ප්‍රදේශවලට අලි වැට ඉදිකිරීම, අලුත්වැඩියා කිරීම, අලිවැටට ළඟා වීමට මාර්ග ඉදිකිරීම, ආරක්ෂක නිලධාරීන්ට නේවාසිකාගාර ඉදිකිරීම මේ යටතේ සිදු කිරීමට නියමිත වේ.

    දැනට කිලෝ මීටර් 55ක අලි වැටක් පවතින බවත්, තවත් කිලෝ මීටර් 155 ඉදිකළ යුතු බවත්, මෙය එම ප්‍රදේශවල ජනජීවිතයට තදින් බලපාන ප්‍රශ්නයක් බැවින් මාස 02ක් ඇතුළත ඉදිකිරීම් නිම කිරීමටත් කමිටුවේ දී තීරණය විය.මෙම අවස්ථාවට සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, වයඹ පළාත් මහ ඇමති දයාසිරි ජයසේකර, වයඹ පළාත් සභා මන්ත්‍රී තාරානාත් බස්නායක, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රජයේ නිලධාරීන් සහ උවදුරුවලට ලක්වන ගම්මානවල නියෝජිතවරු ද සහභාගී වූහ.

    ECB/AK_dmu_Kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya