මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රංජිත් නවරත්න ජනතා විශ්වාසය රැකගත් නායකයෙක්

    මැයි 05, 2014
    ශ‍්‍රී ලංකා මහජන පක්ෂයේ හිටපු නායක දිවංගත රංජිත් නවරත්න මහතා කාර්ය ශූර දේශපාලඥයෙක් පමණක් නොව පරිපාලනමය වශයෙන් සහ සංවිධානාත්මක වශයෙන් දස්කම් දැක්වූ ප‍්‍රතිපත්ති ගරුක නායකයෙක් යැයි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය. 
     
    එක්තරා අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය විශාල මුදලක් ඉදිරිපත් කර එම පක්ෂයට පැමිණෙන ලෙස රංජිත් නවරත්න මහතාට ආරාධනා කළ බවත් එම අවස්ථාවේදී ඡන්දය ලබා දුන් ජනතාව සල්ලිවලට පාවා නොදෙන බව ප‍්‍රකාශ කරමින් ප‍්‍රතිපත්ති ගරුකව ඔහුට ඡන්දය දුන් ජනතාව රැක ගත් බවත් එතුමාට ගෞරවයක් හැටියට ඒ බව සිහි කරන බවත් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ කුරුණෑගල නව නගර ශාලාවේදී පසුගියදා පැවති මහජන පක්ෂයේ හිටපු නායක ආචාර්ය රංජිත් නවරත්න මහතාගේ පළමු ගුණ සමරු උත්සවය අමතමිනි. 
     
    "එතුමා එදා සිරිමාවෝ බණ්ඩාරනායකක මැතිණියගේ නායකත්වයෙන් ආරම්භ කරපු පොදු ජන එක්සත් පෙරමුණ වගේම, එක්සත් ජනතා නිදහස් සන්ධානය බිහිකරද්දි පක්ෂ නායකයෙක් හැටියට සහභාගී වූ බව අපි දන්නවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති ධුරයට පත්වුණාට පස්සේ එක්සත් ජාතික රජය යටතේ විනාශයට පත් කරලා තිබුණු කර්මාන්ත ශාලා සහ ඒ වගේම මහ විශාල ණය කන්දරාවක් වෙලා තිබුණු යුගයක, සේවය අර්ධ නොගෙවා තිබූ යුගයක ඒ සේවකයින් සමග ඒ කර්මාන්තශාලා දියුණු කරන්න ඔහුගේ ශක්තිය යෙදෙව්වා". 
     
    1948 ජනවාරි 7 වන දින කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ගල්ගමුව නිකවැව ග‍්‍රාමයේ දී උපත ලැබූ රංජිත් නවරත්න මහතා නිකවැව දේවානම්පිය තිස්ස මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ප‍්‍රථම උපාධිය සහ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව හිමිකර ගත්තේය. 1975 වසරේ ඉංග‍්‍රිසි උප ගුරුවරයකු ලෙස රජයේ සේවයට එක්වූ ඒ මහතා පසුව අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියෙකු වශයෙන් ද වයඹ පළාත් අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක වශයෙන් ද කටයුතු කළේය. ඒ මහතා අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වසර 25ක අත්දැකීම් ලබා ඇත. 
     
    පසු කාලීනව 1984 ශ‍්‍රී ලංකා මහජන පක්ෂයේ නිර්මාතෘ විජය කුමාරතුංග මහතා සමග එම පක්ෂයේ කටයුතුවලට සම්බන්ධ වූ ඒ මහතා 1988 වසරේදී මහජන පක්ෂය නියෝජනය කරමින් වයඹ පළාත් සභාවට තරග කරමින් එහි පළමු විපක්ෂ නායක ලෙස වසර 05ක් කටයුතු කර ඇත. විජය කුමාරතුංග මහතාගේ අභාවයෙන් පසුව 1993 දී මහජන පක්ෂයේ සභාපතිවරයා ලෙස ඔහු තෝරා පත්කරගන්නා ලදී. ඉන්පසු 1996 දී පක්ෂයේ ප‍්‍රධාන ලේකම්ධුරයට සහ මහජන පක්ෂයේ නායක ධූරයටද ඒ මහතා පත්විය.
     
    2000 වසරේදී පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තරග කළ ඒ මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස තේරී පත්විය. 
     
    මෙම අවස්ථාවට අමාත්‍ය වාසුදේව නානායක්කාර, ජයරත්න හේරත්, සාලින්ද දිසානායක, වයඹ ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන් ද කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ වයඹ පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
     
    DB/KT
     
    DR NAWARATHANE 1
     
    DR NAWARATHANE 2
     
    DR NAWARATHANE 2DR NAWARATHANE 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya