අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාර්ථක බහරේන් චාරිකාව නිමවා ජනපති යළි දිවයිනට

    අප්‍රේල් 30, 2014

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා බහරේන් රාජධානියේ කළ සාර්ථක දෙදින රාජ්‍ය චාරිකාව නිමවා අද (30) සවස යළි දිවයිනට පැමිණියේ ය. ශ‍්‍රී ලංකා රාජ්‍ය නායකයෙකු එරට චාරිකාවක නිරත වූ ප‍්‍රථම අවස්ථාව මෙය යි.


    මැති ඇමතිවරු සහ ව්‍යාපාරිකයෝ ඇතුළු විශාල පිරිසක් ජනාධිපතිතුමා පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළට රැස්ව සිටියහ. ඔවුහු ප‍්‍රීති ඝෝෂා කොට මල්මාලා පළඳවා එතුමාට සුබ පැතූහ.


    ජනාධිපතිතුමා බහරේන් වෙත ළඟා වූ පසුගිය සඳුදා (28) බහරේන් රාජධානිය සිය දේශයේ ඉහළම ගෞරව සම්මානය වන ඛලීෆා අභිධානය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා වෙත ප‍්‍රදානය කළේය.


    “උතුමාණෙනි ඔබ සහ ඔබ අයත් මිත‍්‍ර රාජ්‍යය මෙන්ම ද්විපාර්ශවික සබඳතා, සංවර්ධනයේ සහ ප‍්‍රගතියේ වඩා ඉහළ තලයකට ඔසවා තැබීමට ඔබ පෞද්ගලිකව ගන්නා උත්සාහයත් අගය කරනු පිණිස මේ සම්මානය පුද කරන්නෙමු”, යයි බහරේන් හි හමාද් බින් ඉසා අල්-ඛලීෆා රජතුමා සම්මානය ප‍්‍රදානය කරමින් ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමාට පැවසීය.


    අල්-ඛලීෆා අභිධානය 1940 දී ස්ථාපනය කරන ලදුව 1970 ගණන්වල දී යළි සක‍්‍රීය කරනු ලැබීය. අභාවප‍්‍රාප්ත ෂේක් ඉසා බින් සල්මාන් අල්-ඛලීෆා එමීර්තුමා (Amir Sheikh Isa bin Salman Al-Khalifa) මානුෂවාදය කෙරෙහි දැක්වූ කැපවීමට උපහාර පිණිස සම්මානය ආරම්භ කෙරිණ. මේ දක්වා සම්මානය ප‍්‍රදානය කර ඇත්තේ සෞදි අරාබි රජතුමා, මැලේසියානු අග‍්‍රාමාත්‍යතුමා සහ දෙවැනි එලිසබෙත් මහරැජන ඇතුළු විශිෂ්ට නායකයන් කිහිප දෙනෙකුට පමණි.


    සම්මානය පිළිගනිමින් කථා කළ ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා, “මම ගෞරවයටත් ප‍්‍රසාදයටත් පත්වීමි” යනුවෙන් පැවසීය. “බහරේන් දේශය සමග වඩා පුළුල් හා ගතික හවුල්කාරීත්වයක් ගොඩනැගීමට අපි අපේක්‍ෂා කරන්නෙමු. ඔබේ කරුණාබර වදන්, නොමසුරු ආගන්තුක සත්කාරය සහ උණුසුම් අන්තර් ක‍්‍රියාකාරිත්වය, නිසැකවම ක‍්‍රියාශීලී සහයෝගීතාවක් බවට පරිවර්ථනය වන මේ රාජ්‍ය චාරිකාව මට සහ මගේ දූත පිරිසට බොහෝ කල්පවතින හා සොඳුරු සිහිවටන බවට පත් කරයි”, යනුවෙන් ද ජනාධිපතිතුමා සඳහන් කළේය.


    ජනාධිපතිතුමාගේ චාරිකාවේ දී ශ‍්‍රී ලංකාව සහ බහරේන් රාජධානිය දෙරට අතර සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් අවබෝධතා ගිවිසුම් 03කට අත්සන් තැබීය. ඉන් ක‍්‍රීඩා, සංස්කෘතික හා කලා ක්ෂේත‍්‍ර ආවරණය කෙරෙයි. කොළඹ විශ්වවිද්‍යාලය හා බහරේන් විශ්වවිද්‍යාලය අතර තවත් ගිවිසුමකි.


    ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා අල්-සඛීර් මාලිගයේ දී බහරේනයේ හමාද් බින් ඉසා අල්-ඛලීෆා රජතුමා, අග‍්‍රාමාත්‍ය ඛලීෆා බින් සල්මාන් බින් හමාඩ් අල් ඛලීෆා කුමරු සහ බහරේන් හි සෙසු ඉහළ නිලධාරීන් විසින් ඉමහත් හරසරින් සහ උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.


    ද්විපාර්ශවික සාකච්ඡාවේ දී අන්‍යෝන්‍ය වැදගත්කමක් සහිත විෂයයන් ගණනාවක් කෙරෙහි අවධානය යොමු කළ නායකයෝ දෙදෙන අන්තර්ජාතික වේදිකාවල දී අන්‍යෝන්‍ය සහයෝගයෙන් ක‍්‍රියා කිරීමට එකඟත්වය පළ කළහ.


    බහරේන් අග‍්‍රාමාත්‍ය ඛලීෆා බින් සල්මාන් බින් හමාඩ් අල් ඛලීෆා (H.R.H. Prince Khalifa bin Salman bin Hamad Al Khalifa) කුමරු විසින් ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා වෙනුවෙන් දිවා භෝජන සංග‍්‍රහයක් පවත්වනු ලැබීය.


    මෑතක දී දෙරට අතර සිදු වූ ඉහළ පෙළේ චාරිකා නිසා ද්විපාර්ශවික සබඳතාවන්හි ශීඝ‍්‍ර ප‍්‍රගතියක් ඇති විය. ජනාධිපතිතුමාගේ චාරිකාව මේ මිත‍්‍රත්වය හා සහයෝගීතාව තවදුරටත් තහවුරු කිරීමට ඉවහල් වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.


    ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් රිට්ස්-කාල්ටන් හෝටලයේ ඊයේ (29) සවස සංවිධාන කර තිබූ සුහද හමුවක දී බහරේන් හි වෙසෙන ශ‍්‍රී ලාංකේය ප‍්‍රජාව හමුවිය. මේ චාරිකාවේ දී ශ‍්‍රී ලංකා බහරේන් ව්‍යාපාරික හමුවක් ද සංවිධානය කර තිබිණ.


    HC/NP_IMU_Pix By : Sudath Silva

    President the highest honour in Bahrain on arrival at Katunayake 1

    President the highest honour in Bahrain on arrival at Katunayake 2

    President the highest honour in Bahrain on arrival at Katunayake 3

    President the highest honour in Bahrain on arrival at Katunayake 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya