අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බහරේන් රාජ්‍යය එරට ඉහළම සම්මානයෙන් ජනපති පුදයි

    අප්‍රේල් 28, 2014

    බහරේන් රාජධානිය සිය දේශයේ ඉහළම ගෞරව සම්මානය වන ඛලීෆා අභිධානය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා වෙත අද (28) ප‍්‍රදානය කළේය.


    “උතුමාණෙනි ඔබ සහ ඔබ අයත් මිත‍්‍ර රාජ්‍යය මෙන්ම ද්විපාර්ශවික සබඳතා, සංවර්ධනයේ සහ ප‍්‍රගතියේ වඩා ඉහළ තලයකට ඔසවා තැබීමට ඔබ පෞද්ගලිකව ගන්නා උත්සාහයත් අගය කරනු පිණිස මේ සම්මානය පුද කරන්නෙමු”, යයි බහරේන් හි හමාද් බින් ඉසා අල්-ඛලීෆා රජතුමා ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමාට පැවසීය.


    අල්-ඛලීෆා අභිධානය 1940 දී ස්ථාපනය කරන ලදුව 1970 ගණන්වල දී යළි සක‍්‍රීය කරනු ලැබීය. අභාවප‍්‍රාප්ත ෂේක් ඉසා බින් සල්මාන් අල්-ඛලීෆා එමීර්තුමා (Amir Sheikh Isa bin Salman Al-Khalifa) මානුෂවාදය කෙරෙහි දැක්වූ කැපවීමට උපහාර පිණිස සම්මානය ආරම්භ කෙරිණ. මේ දක්වා සම්මානය ප‍්‍රදානය කර ඇත්තේ සෞදි අරාබි රජතුමා, මැලේසියානු අග‍්‍රාමාත්‍යතුමා සහ දෙවැනි එලිසබෙත් මහරැජන ඇතුළු විශිෂ්ට නායකයන් කිහිප දෙනෙකුට පමණි.


    සම්මානය පිළිගනිමින් කතා කළ ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා, “මම ගෞරවයටත් ප‍්‍රසාදයටත් පත්වීමි” යයි පැවසීය. “බහරේන් දේශය සමග වඩා පුළුල් හා ගතික හවුල්කාරීත්වයක් ගොඩනැගීමට අපි අපේක්‍ෂා කරන්නෙමු. ඔබේ කරුණාබර වදන්, නොමසුරු ආගන්තුක සත්කාරය සහ උණුසුම් අන්තර් ක‍්‍රියාකාරිත්වය, නිසැකවම ක‍්‍රියාශීලී සහයෝගීතාවක් බවට පරිවර්තනය වන මේ රාජ්‍ය චාරිකාව මට සහ මගේ දූත පිරිසට බොහෝ කල්පවතින හා සොඳුරු සිහිවටන බවට පත් කරයි”, යනුවෙන් ද ජනාධිපතිතුමා සඳහන් කළේය.


    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා, කම්කරු හා කම්කරු සබඳතා නියෝජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නවුසර් ෆවුසි, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ බහරේනයේ ශ‍්‍රී ලංකා තනාපති අනුර එම්. රාජකරුණා යන මහත්වරු සහ ව්‍යාපාරික දූත පිරිසේ සාමාජිකයෝ ද සම්මාන උළෙලට සහභාගී වී සිටියහ.


    HC/NP_IMU_Pix By : Sudath Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya