මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයතන දෙකක සභාපතිවරු හා අධ්‍යක්ෂ මණ්ඩල ඉවත්කිරීමට කෝප් කමිටුව නිර්දේශ කළා

    නොවැම්බර් 14, 2014

    පසුගිය සමයේ විමර්ශනයට ලක් කළ රාජ්‍ය ආයතන 46න් නිසි පරිදි විගණනයක් නොකළ විනිවිදභාවයකින් තොරව කටයුතු කළ ආයතන දෙකක සභාපතිවරු හා අධ්‍යක්ෂ මණ්ඩල ඇතුළු ප්‍රධානීන් ඉවත් කිරීමට නිර්දේශ කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ ගැන සඳහන් කළේ අද (14) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි. රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව හා ජාතික කඩදාසි සංස්ථාව එම ආයතන දෙක බව ද වාර්තාවේ සඳහන් වේ.

    පොදු ව්‍යාපාර ගිණුම් කාරක සභාවේ දෙවන අතුරු වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එසේ කී අමාත්‍යවරයා කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ මැදිහත්වීම අගය කළේය.

    කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට මහා භාණ්ඩාගාරයේ  නිර්දේශ ලැබී ඇති බව කී ගුණසේකර මහතා ඒ සඳහා 1966 සිට ක්‍රියාත්මක මූල්‍ය රෙගුලාසි සංශෝධනය කිරීමට අවශ්‍ය බව ද පෙන්වා දුන්නේය. කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ බලය ශක්තිමත් කිරීමට හැකි පරිදි ස්ථාවර නියෝග සංශෝධනය කිරීමට සිදු වී ඇති අවශ්‍යතාව ගැන සලකා බලා ඊට අවශ්‍ය පියවර
    ගැනීමට මන්ත්‍රීවරුන්ගේ අදහස් හා සංශෝධන ඉල්ලා සිටීම ගැන කාතානායකවරයාට සිය ස්තූතිය පුද කළ අමාත්‍යවරයා කෝප් කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සොයා බැලීම සඳහා අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ පසුවිපරම් කමිටුව ක්‍රියාත්මක වන බවද කීය.

    රාජ්‍ය ප්‍රාග්ධනය සතු රජයේ සමාගම් හෝ ආයතන පරීක්ෂා කිරීමට ද තම කමිටුව පියවර ගත් බව එහි දී ආයතන 17ක කටයුතු පරීක්ෂා කළ බවත් ඉන් තුනක් අලාභ ලබන අතර ඉතුරු ඒවා මේ වන විට ලාභ ලබන හෝ ලාභ ලබන තත්ත්වයට පත්වෙමින් සිටින බව ද කීය.

    මේ වසරේ මැයි මස සිට සැප්තැම්බර් 26 දින දක්වා මේ අතුරු වාර්තාවට අයත් වන බවත් තම කොමිටිය මේ වන විට වාර්තා 5ක් අතුරු වාර්තා 2ක් ද අවසන් වාර්තා 3ක් ද ඉදිරිපත් කර ඇතැයි ගුණසේකර මහතා කීය. ගත වූ වසර 4 තුළ ආයතන 598ක කටයුතු පිළිබඳ
    විමර්ශන කර ඇත. පෞද්ගලික අංශය හා ආර්ථිකය ප්‍රසාරණය වීම නිසා විශේෂ අධීක්ෂණ කමිටුවක් ඇති කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ගුණසේකර මහතා මෙහි අවසන් වාර්තාව මේ වන විට සකස් කර ඇති හෙයින් මේ වසරේ අග හෝ ලබන වසරේ මුල එය ඉදිරිපත් කරන බව කීය.

    කෝප් කමිටුව නිසා යහපාලනය රාජ්‍ය ආයතන තුළ ඇතිවීමෙන් එම ආයතනවල කටයුතු යහපත් වී ඇතැයි කී ගුණසේකර මහතා තම කටයුතුවලට සහය දුන් සියලු දෙනාට ස්තූතිය පළ කළේය.

    කොමිටියේ කාර්යය මෙහිදී අගය කළ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා මෙහි කටයුතු මාධ්‍යයට විවෘත කළ යුතු බව කීය.

    කමිටුව නිසි පරිදි කටයුතු කිරීම ගැන කතානායක චමල් රාජපක්ෂ මහතා ද සිය ස්තූතිය පළ කළ අතර වාර්තාව මුද්‍රණය කළ යුතු බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ යෝජනාවට සභාවේ අනුමැතිය ලැබිණි.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya