අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්තශාලාව ජනපති නිරීක්ෂණයට ...

    පෙබරවාරි 24, 2022

    දුම්රිය සේවක ගැටලු විසඳීමට කොමිසමක් පත් කරන්න ... ජනපතිගෙන් ප්‍රවාහන අමාත්‍යවරියට උපදෙස්.

     

    දුම්රිය සේවක ගැටලු විසඳීමට වහාම කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දෙයි.

     

    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්තශාලාවේ අද (24) පෙරවරුවේ නිරීක්ෂණයක යෙදුණු ජනාධිපතිතුමා සේවක ගැටලු විමසා බැලීමෙන් පසු මෙම තීරණය ගනු ලැබීය.

    සේවක බඳවා ගැනීම, උසස්වීම් හා සම්පත් කළමනාකරණය ඇතුළු පවතින සියලුම ගැටලු සැලකිල්ලට ගෙන මාස දෙකක් ඇතුළත ඒවාට විසඳුම් දෙන ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

    දුම්රිය එන්ජින්, මැදිරි, ගැල් ඇතුළු යන්ත්‍රසූත්‍ර අලුත්වැඩියා හා නඩත්තු කිරීමෙන් විධිමත් දුම්රිය සේවාවක් පවත්වාගෙන යාම මෙහෙවර කරගනිමින් 1933 වර්ෂයේ දී යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාලය හා කර්මාන්තශාලා පරිශ්‍රය ආරම්භ කර තිබේ.

    Locomotive Group, Carriage & Wagon Group, Production Group, Electrical Group ලෙස අංශ 04කින් සමන්විත කර්මාන්තශාලාව අක්කර 32කින් යුත් භූමියක පිහිටා ඇත.

    ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරුවෙකු ඇතුළු 24 දෙනෙකුගෙන් යුත් ඉංජිනේරු කාර්ය මණ්ඩලයක්, 2,301 දෙනෙකුගෙන් යුත් තාක්ෂණික හා තාක්ෂණික නොවන කාර්ය මණ්ඩලයක් රත්මලාන කර්මාන්තශාලා 30ක සහ කොළඹ කර්මාන්තශාලා 06ක සේවයේ යෙදෙති.

    ජපානය, දකුණු කොරියාව, චීනය, ඉන්දියාව සහ ජර්මනිය ඇතුළු රටවලින් ආනයනය කළ දුම්රිය එන්ජින් 142ක්, බලවේග කට්ටල 129ක් හා මැදිරි 1,110ක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු වේ.

    වසරක දී දුම්රිය මැදිරි 110ක් පමණ රත්මලාන කර්මාන්තශාලාවට අලුත්වැඩියාව සඳහා යොමු කෙරේ. පවතින සේවක ගැටලු හේතුවෙන් අලුත්වැඩියා කළ හැක්කේ මැදිරි 70ක් පමණ බවත් පසුගිය දෙවසර තුළ කොවිඩ් වසංගතය හේතුවෙන් එම සංඛ්‍යාව ද 50%කින් අඩු වූ බව සේවකයෝ පවසති.

    පුහුණු සේවකයින් බඳවා ගැනීමේදී පවතින ගැටලු ඉවත් කර ශ්‍රී ලංකා - ජර්මානු දුම්රිය කාර්මික අභ්‍යාස ආයතනය ඇතුළු වෘත්තීය පුහුණු ආයතනවලින් පුහුණුව ලැබූ පිරිස් බඳවා ගැනීමට ක්‍රමවේදයක් සකස් කළ යුතුව ඇතැයි ජනාධිපතිතුමා සඳහන් කළේය.
    දුම්රිය අලුත්වැඩියාවේ දී හඳුනාගත් අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් සකස් කර දෙන ලෙස ජනාධිපතිතුමා ප්‍රධාන ඉංජිනේරු කීර්ති හේවාවිතාන මහතාට උපදෙස් දුන්නේය.

    කර්මාන්තශාලා පරිශ්‍රය තුළ භාවිතයට නොගෙන ගොඩ ගසා තිබූ ටොන් 6,700ක් පමණ වන අබලි ද්‍රව්‍ය දිරා යාමට ලක් වෙමින් තිබිණ. ඒවා වහාම වෙන්දේසි කර ඉන් ලැබෙන මිලියන 600ක පමණ ආදායම දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ සේවක අවශ්‍යතා වෙනුවෙන් යෙදවීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.

    කර්මාන්තශාලාවේ සේවයේ නියුතු පිරිසෙන් 80%ක් පමණ කම්කරු සේවයට අයත් වන අතර ඉන් බොහෝ දෙනෙක් කම්කරුවෙකු ලෙස සේවයට පැමිණ එම ශ්‍රේණියේම විශ්‍රාම යන බව සේවකයෝ ජනාධිපතිතුමා සමග පැවසූහ. මේ පිළිබඳව විශේෂ අවධානය යොමුකර සේවා පළපුරුද්ද හා පුහුණු වීම් සැලකිල්ලට ගෙන කම්කරුවන් ලෙස සේවයට එක්වන පිරිසට ද උසස්වීම් පටිපාටියක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    කර්මාන්තශාලා පරිශ්‍රය තුළ වූ බොහෝ අංශ වෙත ගිය ජනාධිපතිතුමා සේවකයන් සමග කතාබහ කරමින් ඔවුන් දිරිගැන්වීය. වර්තමානයේ සේවයේ නිරත පිරිසට කර්මාන්තශාලාව තුළදී හෝ පිටත දී පුහුණුවීම් ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    සේවකයින්ට අපහසුවකින් තොරව සේවා කටයුතුවල නිරත වීමට කර්මාන්තශාලා පරිශ්‍රය තුළ අවශ්‍ය පහසුකම් සංවර්ධනය කළ යුතුව තිබේ. එහිදී නගර සංවර්ධන ක්‍රමවේද වෙත අවධානය යොමු කර ආකර්ෂණීය සේවා පරිසරයක් සකස් කළ යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    පරිගණක තාක්ෂණය යොදාගැනීමෙන් වට්ටෝරු භාණ්ඩ ලේඛනගත කිරීම හා භාණ්ඩ ගබඩා කිරීම විධිමත් කළ හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබීය.

    අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් මොන්ටි රණතුංග, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.ඩී.එල්.ඩී. අල්විස් මහතා, දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී. ජයසුන්දර යන මහත්වරු ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya