අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාපාන පේමසිරි මහ නා හිමියන්ගේ ධර්ම ඥාණය, සිල්වත්කම, ගුණවත්කම සමාජයට ආශිර්වාදයක් සහ ආදර්ශයක් ....

    නොවැම්බර් 22, 2020

    නාපාන පේමසිරි මහ නා හිමියන්ගේ ධර්ම ඥාණය, සිල්වත්කම, ගුණවත්කම සමාජයට ආශිර්වාදයක් සහ ආදර්ශයක් -ආදාහන පූජෝත්සවයේ දී ජනපති කියයි.


    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නා හිමියන්ගේ ධර්ම ඥාණය, සිල්වත්කම සහ ගුණවත්කම සමාජයට ආශිර්වාදයක් සහ ආදර්ශයක් වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

    උන්වහන්සේ අපවත්වීම සම්බුද්ධ ශාසනයට, රටට, සමස්ත ලෝක බෞද්ධ ජනතාවට මෙන්ම පෞද්ගලිකව තමාට ද පිරිමැසීමට අපහසු පාඩුවක් බව ජනාධිපතිතුමා කියා සිටී.

    අද (22) පස්වරුවේ මහනුවර, කුණ්ඩසාලේ, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක, හුරීකඩුව, මැණික්හින්න විද්‍යාසාගර පරිවෙනාධිපති අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි නා හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අමතමින් රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය.

    ආදාහන පුජෝත්සව භූමියට පැමිණි ජනාධිපතිතුමා අතිපූජ්‍ය නාපාන පේමසිරි නා හිමියන්ගේ ශ්‍රී දේහයට වැද නමස්කාර කර අවසන් ගෞරව දැක්වීය. අනතුරුව උන්වහන්සේ වෙනුවෙන් සමරු සටහන් පොතෙහි විශේෂ සටහනක් තබමින් අත්සන් තැබීය.

    1922 නොවැම්බර් 30 වන දින මහනුවර නාපාන ග්‍රාමයේ දී උපත ලැබූ උන්වහන්සේ අපවත්වන විට අනු අට වන වියෙහි පසුවූහ. 1933 වසරේ දී පැවැදි දිවියට පිවිසි උන්වහන්සේ 1943 වසරේදී උපසම්පදාව ලැබූහ.

    ලොව කීර්තිධර මහා තෙරුන්වහන්සේට බුරුම රජය පිරිනමන “අග්ගමහා පණ්ඩිත” සම්මානයෙන් පිදුම් ලැබූ උන්වහන්සේ 2012 වසරේ දී ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක පදවියට පත්ව අපවත්වන තුරුම එය හෙබවූහ.

    බුදු දහමෙහි ගැබ්ව ඇති ගැඹුරු දර්ශනය සමාජගත කරමින් ඊට අනන්‍ය වූ සංස්කෘතියක් ගොඩනැගීමට මහා සංඝරත්නය ඉටු කළ මෙහෙය අතිමහත් බව ජනාධිපතිතුමා සඳහන් කළේය. බුදු දහමත්, සංස්කෘතියත්, සිංහල ජාතියත් රැකගෙන මෙරට වෙසෙන සෙසු සියලු ජාතීන් සමග සහජීවනයෙන් කටයුතු කිරීමට මහා සංඝරත්නය දෙන දායකත්වය ඉමහත් බව ද ජනාධිපතිතුමා පැවසීය.

    නාපාන පේමසිරි නා හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරිණ. මහා නායක, අනුනායක නා හිමිවරු ප්‍රධාන මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මැති ඇමතිවරු, ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ දායක සභාවේ සභාපති කරු ජයසූරිය මහතා ඇතුළු දායක සභාව සහ ජනතාව මේ අවස්ථාවට එක්ව සිටියහ.

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජනීය නාපාන පේමසිරි මා හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයේ දී ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ කථාව

    2020-11-22 වන දින ප.ව 2.00
    මහනුවර, කුණ්ඩසාලේ එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණය

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උතුම් මහා නායක ධූරය හොබවන ලද හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මූල මහා විහාරාධීශ්වර ශාසන සෝභන, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, රාජකීය පණ්ඩිත, විනය විශාරද, අග්ගමහා පණ්ඩිත පූජ්‍ය නාපාන පෙමසිරි මාහිමියන් වහන්සේ

    සම්බුද්ධ ශාසනයට, රටට සමස්ත ලෝක බෞද්ධ ජනතාවට, ශ්‍රී ලාංකීය සමාජයට කළ උතුම් මෙහෙවර සිහිපත් කරන විට අප මහා නායක ස්වාමින් වහන්සේගේ අපවත්වීම සමාජයට වගේම මටත් පෞද්ගලිකවත් වූ මහා පාඩුවක් ලෙස මම සලකනවා. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට ලැබීම වටිනා ශාසනික යුතුකමක් ඉටුකරන අවස්ථාවක් හැටියටයි මම සලකන්නේ. බුදු දහම වැනි වටිනා දර්ශනයක් සමාජගත කරමින් ඊටම අනුගත වූ සංස්කෘතියක් ගොඩනගා ශ්‍රී ලාංකීය ජනතාව ඒ වෙනුවෙන් පෙළගස්වමින් එදා මෙදා තුර අපවත් වී
    වදාල අතිපූජනීය නාපාන පේමසිරි මා හිමිපාණන් වැනි ශ්‍රී ලාංකීය මහා සංඝරත්නය ඉටු කළ සේවාව කියා නිම කළ නොහැකි තරම් වටිනා කාර්යයක් බව මම තරයේ විශ්වාස කරනවා.

    මහා නායක හාමුදුරුවෝ පිළිබඳව රාජ්‍ය නායකයා හැටියටත් මා තුළ තිබුණේ අසීමිත ගෞරවයක්. උන්වහන්සේ අඩුවෙන් කතා කළේ, එය “මිතභානී” ගුණයයි. අවශ්‍ය තැනට පමණක්, අවශ්‍ය කාරණයේ දී පමණක් උන්වහන්සේ කතා කළා. එහෙත් වසර 88ක තරම් ශාසනික දිවිය තුළ අසීමිත වැඩ කොටසක් ශාසනයට, සමාජයට ඉටු කළා.

    භික්ෂුන් වහන්සේ නමක් හැටියට ලැබිය යුතු සාම්ප්‍රදායික අධ්‍යාපනය නාපාන පේමසිරි මහා නායක හාමුදුරුවෝ ඉහළින්ම ලැබුවා. උතුම් පැවිදි දිවිය ඔපවත් කර ගැනීමට උන්වහන්සේට එය විශාල ශක්තියක් වුණා. සිංහල, පාලි, සංස්කෘත ආදී පෙරදිග භාෂාවන් පිළිබඳව උන්වහන්සේට තිබුණේ විශාරද දැනුමක්. එම දැනුම ඇසුරෙන් බුදු දහම පිළිබඳව මනා වැටහීමක් මහා නායක හාමුදුරුවෝ ලබා ගත්තා. අපේ මහානායක හාමුදුරුවෝ ලාංකේය භික්ෂු පරපුරේ උදාර ගුණයන් බෞද්ධ ලෝකයටම ජීවමානව ප්‍රකට කළ මහා යතිවරයාණන් වහන්සේ නමක්. උන්වහන්සේ කුඩා කළ පටන් ශාසනික ප්‍රතිපදාවන් රකිමින් අධිෂ්ඨානශිලී ඒ සඳහා මහණ දම් පිරූ බව අපේ මහා නායක, අනුනායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනාවලදී අනුදැන වදාළා.

    අතිපූජනීය වේවැල්දෙණියේ මේධාලංකාර මහා නායක හාමුදුරුවන්ගේ අපවත් වීමෙන් අනතුරුව නිකායේ මහා නායක පදවියේ වගකීම් උන්වහන්සේ දැරුවා. අපවත් වී වදාළ මහානායක හාමුදුරුවෝ නිකායේ නොයෙක් තනතුරු දරමින් විශාල ආභාෂයක් සහිතවයි මහා නායක පදවියට පත් වුණේ. ඒ නිසා උන්වහන්සේ මහා නායක පදවිය දැරූ කාලය තුළ විශාල වැඩ කොටසක්රාමඤ්ඤ මහා නිකායට වගේම සිය නිකාය කේන්ද්‍ර කර ගනිමින් සම්බුද්ධ ශාසනයට ඉටු කළා.

    මහානායක පදවිය බබළවන්නට උන්වහන්සේගේ ජීවිත දර්ශනයත්, සමාජ අත්දැකීම් සහ ශාසනික ප්‍රතිපදාවන් ඉවහල් කරගත් බව අපි දන්නවා. අපේ මහා නායක හාමුදුරුවන් සමාජ ගැටලු දෙස තීක්ෂණව බැලුවා. උන්වහන්සේ සිව්පසයෙන් ඇප උපස්ථාන කරන දායක කාරකාදීන් ආධ්‍යාත්මිකව පිරිපුන් කරන්න වගේම ලෞකික ජීවිතය සමෘද්ධිමත් කරන්නටත් වෙහෙසුණා. සමිති සමාගම් රාශියක් ඒ වෙනුවෙන් ගම් දනව්වල ඇති කළා. ගමේ ක්‍රීඩා පිටිය, සමූපකාරය උන්වහන්සේ ගමට ලබා දුන්නා.

    උන්වහන්සේ තුළ පැවතුන ධර්ම ඥානයට අපි ගරු කරනවා. ඒ වගේම උන්වහන්සේගේ සිල්වත්කම සහ ගුණවත්කම සමාජයට විශාල ආශිර්වාදයක්. ඒ ආදර්ශවත් චරිතය මුළු මහත් සමාජයේම බුහුමනට ලක් වුනා. ඒ තුළින් උන්වහන්සේ දහස් ගණනින් භික්ෂුන් වහන්සේලාගෙන් යුත් රාමඤ්ඤ මහා නිකායේ උතුම් මහා නායක තනතුර දක්වා වැඩම කළා. උන්වහන්සේගේ චරිතය සමස්ත භික්ෂුන් වහන්සේලාට පමණක් නොව ගිහි ජනතාවටත් ආදර්ශයක්.


    නාපාන පේමසිරි මා හිමිපාණන් වහන්සේ උගත්, ධර්මධර, විනයධර භික්ෂුන් වහන්සේ නමක් බවට පත්වෙලා පිරිවෙන් ගුරුවරයෙක්, පරිවේනාධිපති වහන්සේ නමක් ලෙස අතිවිශාල උගත් භික්ෂුන් වහන්සේලා රැසක් බිහි කළා. මහානායක හාමුදුරුවෝ භාෂා කිහිපයක් ප්‍රගුණ කොට තිබුන නිසා ථෙරවාදී දහමේ පණිවිඩය ලෝකයට ගෙන යන්න උන්වහන්සේට හැකිවුණා. මහානායක හාමුදුරුවෝ මේ
    රටේ භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපනය කෙරෙහි විශාල උනන්දුවකින් කටයුතු කළා. පොත පත රචනා කරමින් දැන උගත් භික්ෂු පරපුරකට අවශ්‍ය මාවත සැළසුවා. මහානායක හාමුදුරුවෝ ස්වකීය විහාරස්ථානයේ ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන ආරම්භ කරලා, ගිහි පැවිදි විශාල සිසු පිරිසකට අධ්‍යාපනය දෙන්න දීර්ඝ කාලයක් කැප වූ බව අපි දන්නවා.

    අපේ මහා නායක හාමුදුරුවන්ගේ ඇසුර අපිටත් ලබන්න පුළුවන් වුණා. නායක හාමුදුරුවන්ගේ සියලු කැප කිරීම්වල අපි දැක්කේ මේ රට සමාජය සදාචාරවත් කරන්න කළ කැප කිරීම්. යහපත් පුරවැසියෙක් ගොඩ නගලා සශ්‍රීක රටක සමෘද්ධිමත් ජීවිත ගත කරන මිනිසුන් දකින්න මහා නායක හාමුදුරුවෝ කැප වුණා. ඒ වගේම අතීතයේ අපේ භික්ෂූන් වහන්සේලා ඇති කළ ශාසනික ප්‍රබෝධය වෙනුවෙන් විශාල කැපවීමක් කළා. උන්වහන්සේගේ ඒ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම අප සැමගේ වගකීමක් කියලයි මම විශ්වාස කරන්නේ. මේ රට ගුණ දහමින් පිරි රටක් බවට පත් කළහම මහා නායක හාමුදුරුවන්ට අපි පූර්ණ ගෞරවය ලබා දුන්නා වෙනවා.
    මේ මහත් සංවේග ජනක අවස්ථාවේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට මාගේ සාතිශය සංවේගය පළ කරන අතරම, අපවත්වී වදාළ අතිපූජනීය නාපාන පේමසිරි මා හිමිපාණන් වහන්සේට අජරාමර නිවන් සුව අත්වේවා යි ප්‍රාර්ථනා කරමි.

    තෙරුවන් සරණයි !

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya