අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්‍ගමහාපණ්ඩිත, අතිගෞරවාර්හ නාපාන පේමසිරි අභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ බෞද්ධ ශාසනයට කළ මෙහෙවර අනගිභවනීයයි

    නොවැම්බර් 21, 2020

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්‍ගමහාපණ්ඩිත, අතිගෞරවාර්හ නාපාන පේමසිරි අභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ බෞද්ධ ශාසනයට කළ මෙහෙවර අනගිභවනීයයි - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

    මහනුවර, හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර මහා පිරිවෙනේ අධ්‍යක්ෂ හා විහාරාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, අග්‍ගමහාපණ්ඩිත, අතිගෞරවාර්හ, නාපාන පේමසිරි අභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ ශෝක යෝජනාව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අද 21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

    එම ශෝක යෝජනාව මෙසේය,

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්‍ගමහාපණ්ඩිත, අතිගෞරවාර්හ නාපාන පේමසිරි අභිධාන මහා ස්වාමීන් වහන්සේගේ අපවත්වීම පිළිබඳ ශෝක යෝජනාව මෙම ගරු සභාවට ඉදිරිපත් කරනු ලබන්නේ බලවත් සංවේගයෙනි.

    කිරිබණ්ඩා නිලමේතුමා සහ බණ්ඩාර මැණිකේ දම්පතීන්ට දාව, ටිකිරි බණ්ඩාර යන ගිහි නමින් උපත ලද උන්වහන්සේ අපවත් වී වදාළ අතිපූජ්‍ය තෙරිපැහැ සිරී සීලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යයත්වයෙන් 1933 වසරේ දී නාපාන පේමසිරි නමින් පැවදි දිවියට ඇතුළත් විය.

    1943 දී කටුගස්තොට පිඟාඔය සීමා මාලකයේදී උපසම්පදාවට පත් වූ උන්වහන්සේ සුදුසුකම් මනා ලෙස සපුරා රාජකීය පණ්ඩිත උපාධිය ලැබූ සේක. පරිවේනාචාර්යවරයෙකු මෙන්ම පරිවේනාධිපතිවරයෙකු වශයෙන් ද කටයුතු කළ උන්වහන්සේ හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙන ඇතුළු වෙහෙර විහාර රැසක් ආරම්භ කිරීමට මූලිකත්වය ගත්හ.

    මහනුවර ප්‍රාදේශීය සංඝ සභාවේ සභාපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සඤ්ඤා ලේඛකාධීකාරී, අධිකරණ සංඝ නායක ඇතුළු ධූර රැසක් දැරූ උන්වහන්සේ 2012 වසරේ සිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක පදවිය හෙබවූහ. ශාසනසෝභන, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, සිරි සීලවංශ වංශාලංකාරධර, ත්‍රිපිටකවාගීශ්වර රාජගුරු, පරියත්ති විශාරද, විනයාචාර්ය, ත්‍රිපිටක චක්‍රවර්ති, වැනි ශාසනික නාමෝපාධි වලින් පිදුම් ලද උන්වහන්සේගේ ශාසනික සේවයට ගරු කිරීමක් වශයෙන් මියන්මාර රජය විසින් අග්ගමහා පණ්ඩිත උපාධියෙන් ද පුදනු ලැබීය.

    අල්පේච්ඡ නිරහංකාර ජීවිතයක් ගත කරමින් ශාසනයේ දියුණුව සඳහා ඇප කැප වී කටයුතු කර වසර 98 ක කාලයක් ආයු වළඳා අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්‍ගමහාපණ්ඩිත අතිගෞරවාර්හ නාපාන පේමසිරි අභිධාන මහා ස්වාමීන්ද්‍රයක් වහන්සේට උතුම් නිවන් සුව අත්වේවා! යි ප්‍රාර්ථනා කරන අතර සංවේගයට පත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ මහා සංඝරත්නයට මෙම ගරු සභාවේ ශෝකය පළ කළයුතු යැයි යෝජනා කරමි.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya