ඔක්තෝබර් 20, 2020
tami eng youtube  twitter facebook

    සේවා වපසරිය හඳුනාගතහොත්,තැපෑලට ජාතික ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවෙකු විය හැකියි.ජනපති පෙන්වා දෙයි

    සැප්තැම්බර් 30, 2020

     සේවා වපසරිය හඳුනාගතහොත්,තැපෑලට ජාතික ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවෙකු විය හැකියි.ජනපති පෙන්වා දෙයි.

     Ø ජනමාධ්‍යවේදීන්ට වෘත්තීය අභ්‍යාස ආයතනයක් ....

    Ø පුවත්පත් මණ්ඩල පනත සංශෝධනයට ....

     

    අන්තර්ජාතික තැපැල් සේවා දෙස අවධානය යොමු කර, සැපයිය හැකි පුළුල් සේවා අවස්ථා හඳුනාගතහොත් ශ්‍රී ලංකා තැපෑලට ජාතික ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවෙකු විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකා තැපෑල සතු විශාල සම්පත් සම්භාරය නිසි ලෙස කළමනාකරණයෙන් ඉලක්කය වෙත පහසුවෙන් ළගාවිය හැකියැයි ද ජනාධිපතිතුමා කියා සිටී.

    තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    වාර්ෂිකව තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 08කට අධික ආදායමක් උපයයි. වියදම රුපියල් බිලියන 14කි. වැටුප් සහ අතිකාල දීමනා ඇතුළු සෙසු පිරිවැය නිසා රුපියල් බිලියන 06ක පාඩුවක් වාර්ෂිකව සිදුවන බව අනාවරණය විය. නව සේවා හඳුන්වාදෙමින් ඉහළ තාක්ෂණික ක්‍රම උපයෝගි කර ගැනීමෙන් තැපෑල ලාබ ලබන තත්වයට පත් කිරීමට ඇති ඉඩ කඩ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

    දිවයිනේ දිස්ත්‍රික්ක රැසක පිහිටි පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිලි සංචාරක අමාත්‍යාංශයේ ද සහය ඇතිව සංචාරක ආකර්ශණය දිනාගත හැකි ස්ථාන බවට පත් කිරීමට පිළිවන. කොළඹ කොටුවේ පිහිටි පැරණි මධ්‍යම තැපැල් ගොඩනැගිල්ල පෞරාණික බව රැක ගනිමින් නවීකරණයට තීරණය කෙරිණ.

    කොවිඩ් වසංගතය නිසා රට වසා දමා තිබූ සමයේ රෝහල් සහ ඔසු සල් වෙතින් ඖෂධ වර්ග නිවෙස් වෙතම බෙදා හැරීමට තැපැල් දෙපාර්තමේන්තුව කළ සේවය ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ඇගයීමට ලක් විය.

    Speed Post සේවය තවදුරටත් වේගවත් කිරීමෙන් සේවාලාභීන් විශාල පිරිසකගේ අවධානය දිනාගත හැකි බව බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

    මැණික් අපනයනයේ දී භාණ්ඩ බෙදාහරින පෞද්ගලික ආයතනවල සේවය වැඩි මිලකට ලබා ගැනීමට ව්‍යාපාරිකයෝ පෙළඹී සිටිති. ශ්‍රී ලංකා තැපෑල සතුව ගෙන් ගෙට ගොස් බෙදා හැරිමේ ක්‍රමයක් (Door to Door Delivery System) වූයේ නම් ඉහළ ආදායමක් උපයා ගැනීමට ඇති හැකියාව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

    ජනමාධ්‍යවේදින්ගේ වෘත්තීය නිපුණතා වර්ධනයට අභ්‍යාස ආයතනයක් පිහිටුවීමට සැලසුම් කර තිබේ. විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය වෙතින් පුද්ගලයන්ට, ආයතනවලට සහ ව්‍යාපාරවලට එල්ල කෙරෙන අනිසි බලපෑම සහ අගතීන් පිළිබඳව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පවතින බව අනාවරණය විය. සියලු කරුණු සැලකිල්ලට ගෙන පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමේ දැඩි අවශ්‍යතාව ද සාකච්ඡා කෙරිණ.

    හඬ කවන ලද විදේශ ටෙලි නාට්‍ය විකාශනයේ දී අය කෙරෙන බදු නාළිකාවල ඉල්ලීම මත කොවිඩ් කාලසීමාවේදී ඉවත් කෙරිණ. එය නැවත සක්‍රිය කිරීමට ද තීරණය විය.

    රූපවාහිනී නාළිකා ප්‍රේක්ෂක ප්‍රතිචාර මත ශ්‍රේණිගත කිරීම කැළනිය විශ්ව විද්‍යාලයේ සහභාගීත්වයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අපක්ෂපාතීව සිදු කිරීමට සැලසුම් කර තිබේ. ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර කඩිනමින් එය ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවය ගැන එකඟතාව පළ විය.

    අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය එස්. විලයේන්ද්‍රන්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු සහ රේඛීය ආයතනවල ප්‍රධානීහූ ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya