අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීෂෙල්ස්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දෙරටේ ජනපතිවරු අතින් විවෘත වේ

    ජූනි 28, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) සීෂෙල්ස් රාජ්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ සීෂෙල්ස් රාජ්‍යයේ ජනාධිපති ජේම්ස් මිෂෙල් මැතිතුමා අතින් අද (28) පස්වරුවේ විවෘත විය. එය වික්ටෝරියා නුවර නිදහස් මාවතේ කැපිටල් සිටි ගොඩනැගිල්ලෙහි පිහිටුවා තිබේ.


    ශ‍්‍රී ලංකාව සහ සීෂෙල්ස් ජනරජය අතර නිල රාජතාන්ත‍්‍රික සබඳතා 1988 දී ස්ථාපනය කෙරිණ. අද නිල වශයෙන් විවෘත වූ ප‍්‍රථම නේවාසික කාර්යාලය 2013 දෙසැම්බර් මස ආරම්භ කරනු ලැබීය. සීෂෙල්ස් හි ප‍්‍රථම ශ‍්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස රජත පියතිස්ස මහතා පත් කරනු ලැබ සිටී. දෙරටේ ජනපතිවරුන් පීත්ත පටිය කපා කාර්යාලය විවෘත කළ අතර සමරු ඵලකය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් නිරාවරණය කෙරිණි. අනතුරුව සාම්ප‍්‍රදායික පොල් තෙල් පහන දැල්වීය.


    පසුගිය වසරේ ජූනි මාසයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සීෂෙල්ස්හි කළ නිල සංචාරයේ දී දෙරට ජනාධිපතිතුමන්ලා අතර ඇති වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම මහ කොමසාරිස් කාර්යාලය ආරම්භ කර තිබේ.

     

    සීෂෙල්ස් ජනාධිපති ජේම්ස් ඒ. මිෂෙල් (James A. Michel) මැතිතුමා, උප ජනාධිපති ඩැනී ෆෝ (Danny Faure), සමාජ කටයුතු, ප‍්‍රජා සංවර්ධන හා ක‍්‍රීඩා ඇමති වින්සන්ට් මෙරිටෝන් (Vincent Meriton) යන මහත්වරු සහ සීෂෙල්ස් විපක්‍ෂ නායක වැවල් රැම්කාලාවැන් (Wavel Ramkalawan) මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ. ජනාධිපතිවරු දෙදෙන ආගන්තුකයන්ගේ පොතේ සටහනක් තැබූහ.
         

    රැස්ව සිටි පිරිස ඇමතූ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සීෂෙල්ස් ඇතුළු අප‍්‍රිකානු රාජ්‍යයන් සමග සබඳතා අලුත් කර ගැනීම සහ ඇති කර ගැනීම ප‍්‍රතිපත්තියක් ලෙස මහින්ද චින්තන ඉදිරි දැක්මෙහි ඇතුළත්ව ඇතැයි පැවසීය. මහ කොමසාරිස් කාර්යාලයට ස්ථිර නිවහනක් තනා ගැනීමට අගනුවරින් වටිනා බිම් කඩක් වෙන්කර දීම පිළිබඳව සීෂෙල්ස් නායකයාට ස්තූතිය පුද කළ ඇමතිවරයා ශ‍්‍රී ලංකාවේ සීෂෙල්ස් මහ කොමසාරිස් කාර්යාලය සඳහා අගනුවරින් සුදුසු ඉඩමක් ලබා දීමට ජනාධිපතිතුමා තීරණය කර ඇති බව කීය.


    මහ කොමසාරිස් කාර්යාලය විවෘත කිරීම ද්විපාර්ශවික සබඳතාවන්හි කඩඉමක් ලෙස හැඳින්වූ වින්සන්ට් මෙරිටෝ අමාත්‍යවරයා, තම දෙරට අතර ද්විපාර්ශවික සබඳතා වර්ධනය ජාතීන් දෙකට පමණක් නොව ගෝලීය සාමයට හා සමෘද්ධියට ද ඉවහල් වන බව පැවසීය. එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ නිත්‍ය නොවන සාමාජිකත්වය ලබා ගැනීම සඳහා සීෂෙල්ස් රාජ්‍යයට උදව් කරන්නැයි ඔහු ශ‍්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කළේය. සීෂෙල්ස් රාජ්‍යය ශ‍්‍රී ලංකාවට, අප‍්‍රිකාවට පිවිසීමේ දොරටුවක් සේම ශ‍්‍රී ලංකාව සීෂෙල්ස් රාජ්‍යයට ආසියාවට පිවිසීමේ දොරටුවක් වනු ඇති බව ඔහු කීය.

     

    දැනටමත් දෙරට අතර සෞඛ්‍ය, ධීවර, කම්කරු හා අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ගිවිසුම් ඇති වී තිබෙන අතර ශ්‍රී ලාංකේය ප්‍රජාව ද සීෂෙල්ස් රාජ්‍යයේ විවිධ සේවාවන්වල නිරතව සිටිති. නව මහකොමසාරිස් කාර්යාලය දෙරට අතර වාණිජ හා සේවා දෙඅංශයට ම වැදගත් වන අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වඩාත් ශක්තිමත් කිරීමට ද ඉවහල් වනු ඇත.


    උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක, විදේශ අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඒ.එච්.එම්. අස්වර්, උදිත් ලොකුබණ්ඩාර, ලොහාන් රත්වත්තේ, රංජිත් ද සොයිසා සහ තේනුක විදානගමගේ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ සීෂෙල්ස් හි මහ කොමසාරිස් රජත පියතිස්ස යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.


    HC/Pix by: Sudath Silva

    New Sri Lankan High Commission in Seychelles

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya