අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ලංකාව හා සීෂෙල්ස් සබඳතා වර්ධනයට ගිවිස ගනී

    ජූනි 28, 2014

    සීෂෙල්ස් හි වික්ටෝරියා අගනුවර රාජ්‍ය මන්දිරයේ දී අද (28) ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සහ සීෂෙල්ස් ජනාධිපති ජේම්ස් ඒ. මිෂෙල් (James A. Michel) මැතිතුමා දැනටමත් සතුටුදායක මට්ටමක පවතින ද්විපාර්ශවික සබඳතා නව ක්ෂේත්‍රවලට ප‍්‍රසාරණය කරමින් වර්ධනය කිරීමට ගිවිස ගත්හ.

     

    දෙවැනි වරටත් තම රටට පැමිණි ශ‍්‍රී ලංකා ජනාධිපතිතුමා ගෞරවයෙන් පිළිගන්නා බව කියමින් සාකච්ඡාව ආරම්භ කළ මිෂෙල් ජනාධිපතිතුමා “අප දෙරට අතර සබඳතා‍ දකුණු-දකුණු සහයෝගීතාවට කදිම නිදසුනක්. අප දෙරට දකුණු-දකුණු සහයෝගීතාව සැබෑවක් බවට පත් කළා”, යයි පැවසීය.


    රාජපක්‍ෂ මැතිතුමා පසුගිය වසරේ ජූලි මස සීෂෙල්ස් හි කළ චාරිකාවෙන් පසු ද්විපාර්ශවික සබඳතාවන්හි කැපී පෙනෙන වර්ධනයක් ඇති වූ බව සීෂෙල්ස් ජනාධිපතිතුමා කීය. “ඔබතුමාගේ මෙවර චාරිකාව තවත් ඉදිරි පියවරක්”, සීෂෙල්ස් නායකයා සඳහන් කළේය.


    තමාට හා තම දූත පිරිසට ලැබුණු උණුසුම් පිළිගැනීම හා ආගන්තුක සත්කාර පිළිබඳව සතුට පළ කළ රාජපක්‍ෂ මැතිතුමා, ජුනි 29 වැනිදාට යෙදී ඇති සීෂෙල්ස් ජනරජයේ 38 වැනි නිදහස් දිනයට සුබ පැතුම් පුද කළේය. මිෂෙල් ජනාධිපතිතුමා 2012 අගෝස්තු මස ශ‍්‍රී ලංකාවේ කළ චාරිකාව සබඳතා වර්ධනයට විශාල පිටුබලයක් වූ බව කී ජනාධිපතිතුමා අද විවෘත කෙරෙන සීෂෙල්ස් හි ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ලංකා බැංකු ශාඛාව, ශ‍්‍රී ලංකා රක්‍ෂණ ශාඛාව ඊට නිදසුන් ලෙස සඳහන් කළේය.


    “අප දෙරටම ඉන්දීය සාගර කලාපයේ ජාතීන්. දෙරට අතර සංස්කෘතික සහ වෙළෙඳ බැඳීම්වලට ඇත්තේ දිගු ඉතිහාසයක්. අපි නව සහයෝගීතා ක්ෂේත‍්‍ර හඳුනා ගනිමු”, යනුවෙන් කී ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා වෙළෙඳාම, ආයෝජන, සංචාරක ව්‍යාපාරය, අධ්‍යාපනය සහ ජනතා සබඳතා වැනි අංශවලට ප‍්‍රමුඛත්වය හිමි විය යුතු බව පෙන්වා දුන්නේ ය.


    අනාගත සහයෝගීතාව වර්ධනය වනු ඇති බවට විශ්වාසය පළ කළ ජනාධිපතිතුමා රාජ්‍ය චාරිකාවක් සඳහා ශ‍්‍රී ලංකාවට එන්නැයි සීෂෙල්ස් නායකයාට ඇරයුම් කළේය.


    ද්විපාර්ශවික සබඳතා ගැන දැනටමත් සෑහීමකට පත් විය හැකි බව ජේම්ස් මිෂෙල් ජනාධිපතිතුමාගේ ද අදහස විය. “අපේ මිතුදම දෙරටටම ජය අත්කර දෙන හවුල්කාරීත්වයක්. ශ‍්‍රී ලංකාවෙන් බොහෝ දේ අපට ඉගෙනගන්න පිළිවන්. ඔබේ රට සමග සහයෝගයෙන් ඉදිරි වැඩ කරන්න සීෂෙල්ස් ජනරජය සූදානම්”, යයි කී මිෂෙල් ජනාධිපතිතුමා අන්තර්ජාතික වේදිකාවල දී සංවර්ධනය වන රටවලට පොදු ගැටලු ඉස්මතු කිරීම ගැන ශ‍්‍රී ලංකාවට ප‍්‍රසාදය පළ කළේය.


    ද්විපාර්ශවික සාකච්ඡාවේ ප‍්‍රථම වටය අවසන් කළ ජනාධිපතිවරු දෙදෙන තනිව කරන කථාබහ සඳහා මන්දිරයේ වෙනත් ශාලාවකට ගියහ. අනතුරුව සීෂෙල්ස් උප ජනාධිපති ඩැනී ෆෝ (Danny Faure) සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ද්විපාර්ශවික සාකච්ඡා යළි සිදු විය.


    ශ‍්‍රී ලංකාව සහ සීෂෙල්ස් අද අත්සන් තබන සහයෝගීතා ගිවිසුම් සබඳතා සඳහා ශක්තිමත් පදනමක් නිර්මාණය කරන බව මහාචාර්ය පීරිස් මහතා පැවසීය. සීෂෙල්ස් හි අධ්‍යාපන සංවර්ධනය පිණිස පාසල් ගුරුවරුන් පුහුණු කිරීමට හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලබා දීමට හැකි බව කී ඇමතිවරයා, දිවයින් රාජ්‍යයන් වශයෙන් දෙරටම සාගර ආර්ථිකය වර්ධනය කිරීමට ප‍්‍රමුඛත්වය දිය යුතු බව ප‍්‍රකාශ කළේය.


    සීෂෙල්ස් අධ්‍යාපන ඇමතිවරයා අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ තම රටට අවශ්‍ය ආධාර නිශ්චිතව තීරණය කරනු පිණිස මේ සතියේ ශ‍්‍රී ලංකාවට යන බවත්, සෞඛ්‍ය ඇමතිවරයා වසර අවසානයට පෙර ශ‍්‍රී ලංකාවට යන බවත් සඳහන් කළ උප ජනාධිපති ඩැනී ෆෝ මැතිතුමා, සිනෙක් ආයතනය තම රටේ තරුණයන්ට ලබා දෙන සමුද්‍ර කටයුතු පුහුණුව අගය කළේය.


    දෙරට අතර වෙළෙඳාම ගැන අදහස් පළ කළ විදේශ අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා ශ‍්‍රී ලංකාවේ අන්නාසි අපනයනකරුවනට අවශ්‍ය පහසුකම් සලසන්නැයි ඉල්ලීමක් කළේය. අපනයන සංවර්ධන මණ්ඩලය ලබන ඔක්තෝබර් මස සීෂෙල්සි හි සංවිධාන කරන අපනයන සංසදයෙන් උපරිම ඵල නෙළාගත යුතු බව මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේය.  


    උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඒ.එච්.එම්. අස්වර්, උදිත් ලොකුබණ්ඩාර, ලොහාන් රත්වත්තේ, රංජිත් ද සොයිසා සහ තේනුක විදානගමගේ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ සීෂෙල්ස් හි ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් රජත පියතිස්ස යන මහත්වරු සාකච්ඡාවට එක්ව සිටියහ.


    HC/NP_PS&IMU_Pix by: Sudath Silva

    Sri Lanka and Seychelles Hold Bilateral Talks

    Sri Lanka and Seychelles Hold Bilateral Talks 1

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya