අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති මාලදිවයින් සිට සී ෂෙල්ස් බලා යයි

    ජූනි 27, 2014

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මාලදිවයින් හි කළ සාර්ථක දෙදින රාජ්‍ය චාරිකාව නිමවා සී ෂෙල්ස් ජනරජයේ නිල චාරිකාවක් සඳහා ජනාධිපති ආර්යා ශිරන්ති වික‍්‍රමසිංහ රාජපක්‍ෂ මැතිනිය ද කැටුව අද (27) උදේ මාලේ නුවරින් පිටත් විය.


    පසුගිය බ‍්‍රහස්පතින්දා සවස ඊබ‍්‍රහිම් නසීර් අන්තර්ජාතික ගුවන්තොටුපළ වෙත ළඟා වූ ජනාධිපතිතුමා සහ ආර්යාව, මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල් ගයූම් මැතිතුමා සහ ජනාධිපති ආර්යා ෆාතිමා ඊබ‍්‍රහිම් මැතිනිය විසින් මහත් හරසරින් පිළිගනු ලැබූහ.


    අනතුරුව බෝට්ටු පෙරහැරකින් මාලේ අගනුවර ප‍්‍රධාන ජැටිය වෙත පැමිණි ජනාධිපතිතුමා සහ රාජපක්‍ෂ මැතිනිය හරසරින් පිළිගනු ලැබ රතුපලස මතින් විශේෂ පිළිගැනීමේ උත්සවය වෙත කැඳවා ගෙන යන ලදී. එතුමා වෙනුවෙන් ආචාර වෙඩි මුර 21ක් සහ මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකායේ ආචාර පෙළපාළියක් පැවැත්විණ. දෙරටේ ජාතික ගී ද වාදනය කරනු ලැබීය. බි‍්‍රතාන්‍ය රැජනට පසු මාලදිවයිනේ දී මෙවන් ඉහළ පිළිගැනීමක් ලැබුණු එකම රාජ්‍ය නායකයා ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා බව එරට නිලධාරීහු සඳහන් කළහ.


    එදිනම මාලදිවයින් ජනාධිපතිතුමා සමග තනිව සාකච්ඡා කළ ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා අනතුරුව දෙපාර්ශවය අතර නිල සාකච්ඡාවට සහභාගී විය. එහිදී ද්විපාර්ශවික සබඳතා වර්ධනයට අදාළ විෂයය ගණනාවක් සාකච්ඡා කොට තීරණවලට එළඹ ගන්නා ලදී. නිල සාකච්ඡාවලින් පසු මාලදිවයින් හි හිටපු ජනාධිපති මවුමූන් අබ්දුල් ගයූම් මැතිතුමා ජනාධිපතිතුමා හමු වී සුහද පිළිසඳරක නිරත විය. දෙරටේ ජනාධිපතිවරුන් හමුවේ ද්විපාර්ශවික සහයෝගීතා ගිවිසුම් 03ක් අත්සන් තැබිණ.


    ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා සීෂෙල්ස් හි රැඳී සිටින කාලය තුළ ජනාධිපති ජේම්ස් මිෂෙල් (James Michel) මැතිතුමා සමග ද්විපාර්ශවික සාකච්ඡා පවත්වන අතර, එරට වික්ටෝරියා අගනුවර ස්ථාපිත ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීමට ද නියමිත ය.


    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක, විදේශ අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඒ.එච්.එම්. අස්වර්, උදිත් ලොකුබණ්ඩාර, ලොහාන් රත්වත්තේ, රංජිත් ද සොයිසා සහ තේනුක විදානගමගේ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරු සහ විදේශ අමාත්‍යාංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය ජනාධිපතිතුමා සමග චාරිකාවට එක්ව සිටිති.


    HC/NP_PS&IMU_

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya