අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාලදිවයින්හි අධ්‍යාපන සංවර්ධනයට අත දීමට ජනපති එකඟ වෙයි

    ජූනි 26, 2014

    මාලදිවයින් රාජ්‍යයේ පාසල් සහ උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සංවර්ධනය සඳහා හැකි සෑම අයුරකින්ම උදව් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා එකඟත්වය පළ කරයි.


    අද (26) කුරුම්බා දිවයිනේ සංචාරක නිකේතනයේ දී ජනාධිපතිතුමා හමු වූ මාලදිවයින් උප ජනාධිපති ආචාර්ය මොහොමඩ් ජමීල් අහමඩ් (Dr. Mohamed Jameel Ahmed) මැතිතුමා කළ ඉල්ලීමකට ප‍්‍රතිචාර දක්වමින් මේ ප‍්‍රතිඥාව දෙනු ලැබීය.


    මාලදිවයින් ශිෂ්‍ය ශිෂ්‍යාවනට පූර්ණ සහ අර්ධ ශිෂ්‍යත්ව ප‍්‍රදානය, උසස් අධ්‍යාපන ආයතන ස්ථාපනය සහ ප‍්‍රවර්ධනය, ගුරු පුහුණුව වැනි අංශවලින් උදව් කිරීමට ශ‍්‍රී ලංකාව කැමති බව ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා පැවසීය. තම රටේ දරුවනට දැනටමත් ලැබෙන සහ ඉදිරියටත් ලැබීමට නියමිත අධ්‍යාපන ආධාර අතිශය අගය කරන බව මාලදිවයින් ජනාධිපතිතුමා කීය.


    ජනාධිපතිතුමා සහ අහමඩ් මැතිතුමා අතර සාකච්ඡාවේ දී මාලදිවයින් හි රැකියාවල නිරත ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන්ගේත්, ශ‍්‍රී ලංකාවේ වෙසෙන මාලදිවයින් ජනයාගේත් සුබසාධනය ගැන අවධානය යොමු කෙරිණ. ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයෝ 9,000ක් පමණ මාලදිවයින් ආර්ථිකයේ විවිධ අංශවල, විශේෂයෙන් සංචාරක නිකේතනවල සේවය කරති. ඔවුන් පසුගිය වසරේ සිය රට යැවූ ආදායම ඩොලර් මිලියන 17ක් පමණ වෙයි. ඔවුන්ගේ විශ‍්‍රාම වැටුප් ගැටලුව විසඳීම සඳහා තම රජය දැනටමත් පියවර ගෙන ඇතැයි මාලදිවයින් උප ජනාධිපතිතුමා කීය. දෙරටේ ධීවර කර්මාන්තයට අදාළ පොදු ගැටලු පිළිබඳව ද අදහස් හුවමාරු වූ අතර, ඒකාබද්ධ කොමිසම මගින් එකී ගැටලු නිරාකරණය කළ හැකි බවට එකඟත්වය පළ විය.


    සෞඛ්‍යය ක්ෂේත‍්‍රයේ පුහුණු ශ‍්‍රම සම්පාදනයට හා පහසුකම් වැඩි දියුණු කිරීමට උදව් කරන්නැයි උප ජනාධිපතිතුමා කළ ඉල්ලීමට ද ජනාධිපතිතුමා අනුකූලතාව පළ කළේය.


    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක, විදේශ අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන් ද, විදේශ අමාත්‍යාංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය සහ මාලදිවයින් හි ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ඩික්සන් දෑල මහතා ද සාකච්ඡාවට එක්ව සිටියහ.


    HC/NP_PS&IMU_Pixs_president office_maldives

    Maldives Vice President meets Sri Lankan President 1

    Maldives Vice President meets Sri Lankan President 2

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya