විශ්වවිද්‍යාල දරුවන්ගේ අනාගතය පිළිබඳ රජයට වගකීමක් තිබෙන අතර එම වගකීම කිසිඳු පැකිලීමකින් තොරව ඉටු කරන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා විශ්වවිද්‍යාල තුළ මිලේච්ඡත්වයට හෝ කැලෑ නීතියට ඉඩ තැබිය නොහැකි බව ද අවධාරණය කළේය.
ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේ මතුගම ආනන්ද ශාස්ත‍්‍රාලයේ 75 වන සංවත්සර උත්සවයට අද (22) පෙරවරුවේ එක්වෙමිනි.
පසුගියදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ශිෂ්‍යයින් නවක සිසුන්ට ලබාදෙන ලද අමානුෂික නවකවදය නිදහස් අධ්‍යාපනයේ ඛේදවාචකයක් බව ද පැවසු ජනාධිපතිතුමා ඒ පිළිබඳ තමා මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් විමසීම් සිදු කළ බවත් මෙම ම්ලේච්ඡ කි‍්‍රයාව පිළිබඳ රජයේ දැඩි කනගාටුව පළ කරන බවත් කියා සිටියේය.
උගතුන් සහ බුද්ධිමතුන් බිහිකරන විශ්වවිද්‍යාලයේ ගෞරවය මෙවන් කි‍්‍රයා තුළින් කෙළසා ගැනීම නිදහස් අධ්‍යාපනයට කරන අගෞරවයක් බව ද ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ වසර 40 – 50 ක ඉතිහාසය තුළ නවකවදය පිළිබඳ කළු පැල්ලම් රැසක් එක් කර තිබෙන බවත් විශ්ව විද්‍යාලයට ඇතුළත් වන දරුවෙකුගේ අනාගතය පිළිබඳ දෙමාපියන් හෙළන සැනසුම් සුුසුම් දුක් කදුළු බවට පත් කිරීමට දරුවන් කටයුතු නොකළ යුතු බවත් කියා සිටියේය.
දෙවන මහා ලෝක සංග‍්‍රාමය සමයේදී කොළඹ නගරාසන්න පාසල් බි‍්‍රතාන්‍ය හමුදා කදවුරු බවට පත් වෙද්දි කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයේ ශාඛාවක් වශයෙන් 1942 පෙබරවාරි 23 වනදා මතුගම ශී‍්‍ර සුදර්ශනාරාමයේදී මතුගම ආනන්ද ශාස්ත‍්‍රාලය ආරම්භ විය.
එතැන් පටන් දෙස් විදෙස් විද්වතුන් රැසක් බිහිකරමින් ස්වර්ණමය ඉතිහාසයකට හිමිකම් කියු මතුගම ආනන්ද ශාස්ත‍්‍රාලයේ එදා මෙදා ගමන් මග ද මෙහිදි ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.
විද්‍යාල පරිශ‍්‍රයේ ස්ථාපිත කෙරුණු මතුගම ආනන්ද ශාස්ත‍්‍රාලයේ ආදි කතෘ හිටපු මුදල් හා අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය දයා ටී. පස්කුවල් ශ‍්‍රීමතාණන්ගේ පිළිරුව නිරාවරණය කරමින් එහි සමරු ඵලකය මෙහිදී ජනාධිපතිතුමා අතින් නිරාවරණය කෙෙරිණි.
විද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
ජනාධිපතිතුමා වෙනුවෙන් ද සිහිවටන තිළිණයක් පිළිගැන්වූ අතර සිසුවෙකු විසින් නිර්මාණය කරන ලද ජනාධිපතිතුමාගේ රුව රැගත් ආලේඛ්‍ය චිත‍්‍රයක් ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, රාජිත සේනාරත්න, නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් පිරික් ද විදුහල්පති රන්දුන් ජයලත් මහතා සහ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.