නොවැම්බර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ ආයෝජන වැඩි කර අපේ රටේ තරුණ තරුණියන්ට යහපත් අනාගතයක් ගොඩනැගීමට අප කටයුතු කළ යුතුයි

    පෙබරවාරි 06, 2017

    විදේශ ආයෝජකයන් ලංකාවට ගෙන්වා ගැනීම පිළිබඳවයි මේ වසරේදී අප අවධානය යොමු කරන්නේ.එම නිසා ලංකාවේ ද විදේශ ආයෝජන වැඩි කර අපේ රටේ තරුණ තරුණියන්ට යහපත් අනාගතයක් ගොඩනැගීමට අප කටයුතු කළ යුතුයි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    හෝමාගම, හබරකඩ ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ය.

     

    මේ ප්‍රදේශයට ජලය ලබාදීම පිළිබඳව හෝමාගම සංවිධායක අපේ මංජු ශ්‍රී අරංගල මහතා අපෙන් ඉල්ලීමක් කර තිබුණා. මම ජනාධිපතිවරණයට පෙර මෙම ප්‍රදේශයට පැමිණීමේදී මේ ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කළා. එතුමා අද හෝමාගම දියුණු කරන්න විශාල උත්සාහයක් ගන්නවා.

     

    අරංගල මන්ත්‍රීතුමා ජනවාරි 05 වන දා මට මෙම ප්‍රදේශයට පැමිණෙන්නැයි යෝජනා කළා. මට ජනවාරි 05 වන දා පැමිණීමට නොහැකි වුණේ රවුෆ් හකීම් ඇමතිතුමා සහ මටත් තවත් ජල යෝජනා ක්‍රමයක් හොරණ දී විවෘත කිරීමට තිබුණ නිසයි. කෙසේ හෝ නිදහස් දිනට පෙර මා පැමිණෙන බව පවසා පෙබරවාරි 03 වන දා දිනය මම ඔහුට ලබා දුන්නා. තමා 03 වන දා වන විට නිරෝගී සුවයෙන් සිටිය හැකි බව පැවසූවත් ඊයේ නැවතත් ඔහු රෝහල්ගත කෙරුණා. නැවතත් නිරෝගී සුවයෙන් පැමිණ සංවිධාන කටයුතු සිදු කිරීමට ශක්තිය ලැබේවා යැයි මම ප්‍රාර්ථනා කරනවා.

     

    රවුෆ් හකීම් ඇමතිතුමත් අද මෙම ස්ථානයට පැමිණියා. ඉතාම ජනාකීර්ණ ප්‍රදේශයක් වන බස්නාහිර පළාතට ජලය ලබාදීම පිළිබඳව එතුමාට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සිදුව තිබෙනවා. බස්නාහිර පළාතට වඩා විශාල ජනගහණයක් සිටින ගම්පහ ප්‍රදේශයත් දියුණු වී තිබෙනවා. මේ ගැටලූව මහනුවර දිස්ත්‍රික්කයේ සහ තවත් බොහෝ ප්‍රදේශවල දකින්නට ලැබෙනවා. මෙයට හේතුව ගම්බද ප්‍රදේශවල ජනතාව නගරබද ප්‍රදේශවලට පැමිණීම නිසා සීඝ්‍ර නාගරීකරණයක් ඇතිවීමයි. නාගරීකරණය කිරීමට ජල ගැටලූවට විසඳුම් ලබාදිය යුතුයි. ඇමතිතුමා කිවූ පරිදි මේ සඳහා රජය රුපියල් මිලියන 300 ක මුදලක් වෙන් කර තිබෙනවා. ජලය ලබාදීම සඳහා ණය ලබාගෙන තිබෙනවා.

     

    දැන් අනාගතයට ජලය ලබාදීම පිළිබඳව විශාල ගැටළුවක් පැන නැගී තිබෙනවා. අපේ රටේ ජලය නොමැතිව හරි අඩක් සිටිනවා. නාගරිකව පමණක් නොව ග්‍රාමීය ජනතාවට ද ජලය ලබාදීමට අප කටයුතු කළ යුතුයි. එසේම නගරබදව මහල් නිවාසවල ජීවත් වන ජනතාවට අවශ්‍ය ජලය ලබාදීමත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමත් සිදු කළ යුතුයි. ඒ හේතුන් මත ඉතිරි 50% ට ජලය ලබාදීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඇමතිතුමාව මම දැනුවත් කර තිබෙනවා.

     

    දැන් මෙම වැඩකටයුතු ජල සම්පත් මණ්ඩලයට අප භාරදී තිබෙනවා. ජල සම්පත් මණ්ඩලයටත් අවශ්‍ය මුදල් නොමැති වුවහොත් එම මණ්ඩලය විසින් සිදු කරන මෙම කටයුත්තත් නතර කිරීමට සිදුවනවා. නමුත් කෙසේ හෝ මෙම ගැටලූවලට හොදින් මුහුණ දී අනාගතයට ජලය ලබාදීම අපගේ අරමුණයි. මෙම ප්‍රදේශය නියෝජනය කරන ගාමිණි තිලකසිරි ඇමතිතුමාත් මේ ප්‍රදේශය දියුණු කිරීම සදහා විශාල කැපවීමක් සිදුකර තිබෙනවා. මෙම ප්‍රදේශයේ ජනගහණය දෙස බැලු විට වෙනම පළාත් සභාවක් අවශ්‍ය බව පෙනෙනවා. ඉදිරියේදී හෝමාගම, බණ්ඩාරගම, කළුතර, කඩුවෙල ප්‍රදේශවල ජනගහණය වැඩි වන නිසාත් මෙම නගරවල දියුණුව පිළිබඳ අපි විශේෂ අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම පළාත් සභා මන්ත්‍රී නිහාල් මහතාත්, හිටපු ඇමති ලක්‍ෂ්මන් මහතාත්, පත්බේරිය මහතාත්, රංග අබේසිංහ මැතිතුමාත් හබරකඩ ජනතාව වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ලබාදීමට දායකත්වය ලබාදෙනවා.

     

    මේ නාගරික ජනතාව බලාපොරොත්තු වන සේවා කිහිපයක් තිබෙනවා. ඒවා නම් විදුලිබලය, ජලනල යෝජනා ක්‍රම හා මහා මාර්ගයි. මේවා සැපයීම රජයේ යුතුකමක් වන අතර නගර සභා, ප්‍රාදේශීය සභාවල වගකීමක් වනවා. මීට අමතරව මේ ප්‍රදේශයේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමද සිදු කළ යුතුයි. එය මහා ආණ්ඩුවයි පළාත් සභාවයි කරන වැඩකටයුත්තක් වනවා.

     

    එසේම තවත් කාර්යභාරයක් වන්නේ මේ අයට ජීවත්වීම සඳහා ආදායම් මාර්ගයක් සකස් කර දීමයි. රැකියා, ස්වයං රැකියා සිදු කිරීමට මුදල් තිබිය යුතුයි. රජයෙන් ලබාදිය හැකි රැකියා ප්‍රමාණයට අමතරව රජයේ නොවන පුද්ගලික අංශයේ රැකියා හෝ ඇතිකිරීම අප විසින් සිදු කළ යුතුයි. ඒ වගේම ස්වයං රැකියා මාර්ගයෙන්ද ආදායම් මාර්ග සකස් කර දිය හැකියි. අපේ තරුණ තරුණියන් දෙස බැලු විට හොදින් ජීවත්වීම සඳහා රැකියා මාර්ගයක් පමණක් නොව හොඳ ආදායමක් ද බලාපොරොත්තු වෙනවා. අපේ තරුණ කාලයේ අපට දුරකථන බිල්පතක් තිබුණේ නැහැ. හුඟක් නිවාසවලද දුරකථන තිබුණේ නැහැ. දුරකථන තිබුණු නිවාසවල බිල්පත ගෙවීම සිදු කළේ දෙමව්පියන් විසිනි. සතියට දුරකතන ඇමතුම් 7 ක් 8 ක් පැමිණෙනවා කියන්නේ ඔහු ඉතා ජනප්‍රිය පුද්ගලයෙක් බව එකල පිළිගත්තා. නමුත් අද සියලූම දෙනාගේ අත්වල දුරකථන තිබෙනවා. එමගින් ඇමතුම් පමණක් නොව අන්තර්ජාලයට පිවිසීමට ද හැකියාව පවතිනවා. මෙහි සීමාවක් නැති අතර වියදම්ද අධිකය. දැන් නව විලාසිතා වර්ගද ඇති වී තිබෙනවා. අතීතයේ අපි කොණ්ඩය කැපීම සිදු කළේ බාබර් සාප්පුවෙන්. නමුත් දැන් පවතින විවිධ සැලොන්වලින් කොණ්ඩය කැපීම වෙනුවට සිදු කරන්නේ කොණ්ඩය සෙට් කිරීමයි. මේ සඳහා කොතරම් මුදලක් වැය වනවාද? අපට නම් රුපියල් 2 යි සත 50 ක් පමණයි එදා වියදම් වුණේ. ඒ වගේම යහළු යෙහෙළියන්ට තෑගි ලබාදීමටත් විශාල මුදලක් අවශ්‍යවනවා. මේ සඳහා හොඳ ආදායම් මාර්ග තිබිය යුතුයි. ලංකාවේ විශාල හෝටල් ඉදිවිය යුතුයි. මේ සඳහා ලංකාවේ ආයෝජන පමණක් ප්‍රමාණවත් වන්නේ නැති අතර විදේශ ආයෝජන ද ලංකාවට පැමිණිය යුතුයි. එසේ නොමැති වුවහොත් ලංකාවට කුඩා පරිමාණ ආයෝජනවලින් පමණක් දියුණුවීමට නොහැකි වේවි.

     

    1977 දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විදේශ ආයෝජකයන්ට ලංකාවට පැමිණීමට අවස්ථාව උදාකර දීම නිසා ඇගළුම් කර්මාන්ත ශාලා ලංකාවේ බිහි වුණා. ඉන්පසුව ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇගළුම් කර්මාන්ත ශාලා පමණක් නොව තවත් විවිධ ක්ෂේත්‍රවල කර්මාන්ත ශාලා බිහිකිරීමට අවස්ථාව ඇති කළා. වර්තමානය වන විට ගිය වසරේදී අපට අවධානය යොමු වුණේ ආර්ථිකයේ ස්ථාවරභාවය ඇති කිරීම, ණය බර අඩු කර ගැනීම හා හුස්ම ගැනීමට හැකි පරිසරයක් ඇති කිරීම පිළිබඳවයි.

     

    මේ වසරේදී අප අවධානය යොමු කරන්නේ විදේශ ආයෝජකයන් ලංකාවට ගෙන්වා ගැනීම පිළිබඳවයි. 1979 දී එවකට අගමැති ප්‍රේමදාස මහතා සමඟ මම චීනයටත් ගියා.  චීනයට එවකට අවශ්‍ය වුනේ රජයේ කර්මාන්ත ශාලා පමණයි. කිසිඳු දියුණුවක් ද දක්නට ලැබුණේ නැහැ. එහි සිටී ශ්‍රමිකයන් කොළ පැහැති කමිසයක් සහ කලිසමකින් සැරසී සිටියා. අප එහි යාමට මාස 3 කට පෙර තරුණ තරුණින්ට අතින් අල්ලාගෙන යාම තහනම් කර තිබුණා. ඒ තහනම අද අප ලංකාවේ ක්‍රියාත්මක කළා නම් කුමක් සිදුවේවිද? කෙසේ හෝ එදා චීනය ලංකාවට පැමිණ ලංකාවේ කටුනායක වෙළඳ කලාපය නිරීක්ෂණය කර සිංගප්පූරුවට ගොස් සිංගප්පූරුවේ වෙළඳ කලාපය නිරීක්ෂණය කර එදා සිටි නායක ඩෙං ෂියාවෝ පිං කළු සුදු බේදයකින් තොරව ලෝකයේ බොහෝ රටවලට ආයෝජනය කිරීමට චීනයට පැමිණෙන්නැයි ආරාධනා කළා. එවිට අපි වගේම ජපානය, ඇමරිකාව, කොරියාව, යුරෝපය, සමාගම චීනයට පැමිණියා. එමෙන්ම බෙන්ස් සමාගමත් චීනයට පැමිණියා.

     

    අද චීනය සිටින තැන බලන්න. අද චීනයෙන් අපට ආයෝජකයන් එවීම සිදු කරනවා. එදා අපෙන් ආයෝජකයන් චීනයට යැව්වා මිස චීනයෙන් ලංකාවට පැමිණීමට ආයෝජකයන් සිටියේ නැත. එදා විදේශ ආයෝජකයන් චීනයට ගෙන්වා ගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදී බදු සහන ලබාදී ලෝකයේ විශාලතම නිෂ්පාදන මධ්‍යස්ථානය බවට චීනය පත් වුණා. ඉන්පසුව ඒ පරිදිම 1921 දී නරසිංහ අගමැතිතුමා ඉන්දියාවට ද ආයෝජකයන් ගෙන්වා ගෙන ඉන්දියාව දියුණු කළා. කොමියුනිට්ස් රාජ්‍යයක් වන වියට්නාමය අවුරුදු 25 ත් 30 ත් අතර කාලයක් ඇමරිකාව සහ ප්‍රංශය සමඟ යුද්ධ කළා. එනම් 1947 සිට 1975 කාලය තුළදී සිදු වූ යුද්ධයෙන් එරටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. නමුත් පසුව වියට්නාමය ද ආයෝජකයන් වෙනුවෙන් තම රටේ අවස්ථාව උදා කර දුන්නා. දැන් එහි විවිධ ක්ෂේත්‍රවල විශාල කර්මාන්ත ශාලා දකින්නට ලැබෙනවා.

    එම නිසා ලංකාවේද විදේශ ආයෝජන වැඩි කර අපේ රටේ තරුණ තරුණියන්ට යහපත් අනාගතයක් ගොඩනැගීමට අප කටයුතු කළ යුතුයි. එසේම අපේ මුදල් ඉල්ලීම වැඩි බැවින් අපනයනය ද අප වැඩි කළ යුතුයි. ඒ සඳහා සාර්ථක වැඩසටහනක් මේ වන විට අප විසින් ක්‍රියාත්මක කරමින් පවතිනවා. එයට විරුද්ධ වනවා කියන්නේ මේ රටේ තරුණ තරුණියන්ට විරුද්ධ වනවා හා සමානයි. මේ රටේ පවතින හොඳ පසුබිම සහා ස්ථාවරභාවය හේතුවෙන් ආයෝජකයින් ලංකාවට පැමිණීමට කැමැත්තෙන් සිටිනවා. අද මෙතන කොළ පාට සහ නිල්පාට දෙකම දකින්නට ලැබෙනවා. එයට හේතුව මෛත්‍රීපාල ජනාධිපතිතුමා සහ මමත් එකට එකතු වී ජාතික ආණ්ඩුවක් ගොඩනැගීම නිසයි. අද මංජු ශ්‍රී අරංගල මහතා හෝ ගාමිණි තිලකසිරි මහතා හෝ කුමන පක්‍ෂයේ හෝ වේවා දැන් ඔබට තිබෙන්නේ අද වගේ හෙටත් මේ ආකාරයෙන් එකට එකතු වී විදේශ ආයෝජකයන් ලංකාවට ගෙන්වා ගැනීමයි.

     

    රජයේ වැඩකරන ඇතැමුන් ද කර්මාන්ත ශාලා බිහිකර රජයේ රැකියාවෙන් ඉවත් වී ඒවායෙහි වැඩකටයුතු සිදුකරයි. මේ ආකාරයෙන් කෙසේ හෝ අපේ රටේ දියුණුවක් ඇති කළ යුතුයි. මෙයින් තමාට පමණක් නොව තමා වටා සිටින අයටත් දියුණුවීමට අවස්ථාව උදාවනවා.

     

    අපගේ දේශපාලන ගමන සිදුකරන අතර තුර එකට එකතු වී මේ රටේ තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් ලබාදීම සඳහා අප කටයුතු කළ යුතුයි. ඒ සඳහා ඔබ සියලූ දෙනාගේම සහයෝගය ලබාදෙන ලෙසත් විදේශ ආයෝජකයන් දිරි ගන්වා ලංකාවේ ආයෝජන ඇති කිරීමට උදව් වන ලෙසත් මම ඔබෙන් ඉල්ලා සිටිමි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya