අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු සංවර්ධන බැංකු සභාපති ජනාධිපතිතුමා හමු වේ

    ජූනි 18, 2014

    ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නකාඕ (Takehiko Nakao) මහතා අද (18) උදේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා හමු විය.


    ගැටුම අවසන් වීමෙන් පසු ශ‍්‍රී ලංකාව අත්කරගත් සංවර්ධන ප‍්‍රගතිය ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා නකා ඕ මහතාට විස්තර කළේය. අභ්‍යන්තරිකව අවතැන් වූවන් නැවත පදිංචි කිරීමට සහ හිටපු සටන්කරුවන් පුනරුත්ථාපනයට රජය කෙතරම් ඉක්මණින් යොමු වූයේ දැයි එතුමා විසින් පැහැදිලි කරනු ලැබීය.


    “මානුෂීය මෙහෙවර කිසි විටෙකත් දෙමළ ජනතාවට එරෙහිව කළ එකක් නොවේ. එය සිදු කළේ ත‍්‍රස්තවාදයට එරෙහිව”, යයි පැවසූ ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා ගැටුම් අවසන් වූ විගස රජය උතුරු පළාතේ ආරම්භ කළ ව්‍යාපෘති පිළිබඳව හැඳින්වීමක් කළේය.


    “එහි ගොස් සිදුව ඇති සංවර්ධනය ඔබේම දෑසින් දැක බලා ගැනීම සුදුසුයි”, ජනාධිපතිතුමා නකා ඕ මහතාට කීය.
     

    ශ‍්‍රී ලංකාව, 1966 දී ස්ථාපිත ආසියානු සංවර්ධන බැංකුවේ ආරම්භක සාමාජිකයෙකි. එතැන් සිට පසුගිය වසර දක්වා බැංකුව ශ‍්‍රී ලංකාවට සපයා ඇති ණය මුදල ඩොලර් බිලියන 6.17ක් සහ ප‍්‍රදාන ඩොලර් මිලියන 358ක් බව ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරයි. බලශක්තිය, මාර්ග, ජල සම්පාදනය හා සනීපාරක්‍ෂාව, අධ්‍යාපන හා නිපුණතා සංවර්ධනය, පසු ගැටුම් අවධියේ යළි ඉදිකිරීම් සහ ජල සම්පත් කළමනාකරණය ආසියානු සංවර්ධන බැංකුව ශ‍්‍රී ලංකාවට ආධාර සපයන ප‍්‍රධාන ක්ෂේත‍්‍ර වේ.


    දකුණු ආසියාවේ ඉහළම සමාජ දර්ශක ශ‍්‍රී ලංකාව සතු බව ආසියානු සංවර්ධන බැංකු වෙබ් අඩවිය සඳහන් කරයි. “ශ‍්‍රී ලංකාව විශ්ව සාක්‍ෂරතා මට්ටමට ආසන්නව සිටී. දරිද්‍රතා මට්ටම සාපේක්‍ෂ වශයෙන් පහත් ය. ගැටුම අවසන් වීමෙන් පසු සීග්‍ර ආර්ථික ප‍්‍රගතියක් සිදු වුව ද 2012 දී පසුබෑමක් දක්නට ලැබිණ. එහෙත් 2013 ප‍්‍රථම කාර්තුවේ දී ආර්ථික වර්ධනය යළි ශක්තිමත් විය”, එහි තවදුරටත් දැක්වේ.


    ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ජුවාන් මිරින්ඩා මහතා, බැංකුවේ ශ‍්‍රී ලංකා නේවාසික දූත කාර්යාලයේ අධ්‍යක්‍ෂිකා ශ‍්‍රී විදෝවතී මහත්මිය සහ බැංකුවේ තවත් නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.


    අන්තර්ජාතික මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සහ නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්ම මහත්මීහූ හමුවට සහභාගී වූහ.


    HC/NP_PS&IMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya