මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙරටේ ජනතාව අතර සබඳතා අප විසින් ප‍්‍රවර්ධනය කළ යුතුයි - ජනපති

    ජූනි 17, 2014

    අප දෙරට එකිනෙකාගෙන් බොහෝ දුරින් පිහිටිය ද සංචාරක ව්‍යාපාරය හා සංස්කෘතික හුවමාරුව ප‍්‍රවර්ධනයට ඒකාබද්ධ මුලපිරීම් සඳහා අපට එක් විය හැකි බව මාගේ විශ්වාසය බවද අපගේ සංස්කෘතීන් පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම සඳහා දෙරටේ ජනතාව අතර සබඳතා අප විසින් ප‍්‍රවර්ධනය කළ යුතු යැයි ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බොලිවීයාවේ ලා පැස් නුවර, ජාතික මන්ත‍්‍රණ සභාව අමතා ප්‍රකාශ කළේය.


    බොලීවියාවේ “ප‍්‍රජාතන්ත්‍රවාදී නියෝජිත මාසෙලෝ කුයිරෝගා සැන්ටා කෲස් පාර්ලිමේන්තු අභිධානය” පිරිනැමීමෙන් පසු අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා එසේ පැවසීය.


    එහිදී ජනාධිපතිතුමා කළ සම්පූර්ණ ප‍්‍රකාශය මෙසේය.


    බොලීවියානු ජනාධිපති අතිගරු ඊවෝ මොරලෙස් අයිමා මැතිතුමනි,
    බොලීවියාවේ උප ජනාධිපති හා ජාතික මන්ත‍්‍රණ සභා සභාපති අල්වාරෝ ග‍්‍රාසියා ලිනෙරා මැතිඳුනි,
    ජාතික මන්ත‍්‍රණ සභාවේ ගරු සාමාජිකයිනි,


    ඔබ සැම හමුවීමේ අවස්ථාව සඳහා මේ ගෞරවනීය මන්ත‍්‍රී මණ්ඩලයට පැමිණීම ඇත්ත වශයෙන්ම මට ගෞරවයකි.


    ඔබගේ සුන්දර රාජ්‍යයට හා එහි ව්‍යවස්දායක අගනුවර වන දැකුම්කළු ලා පැස් නගරයට මා පැමිණි ප‍්‍රථම අවස්ථාව මෙයයි. මාහට සහ මාගේ දූත කණ්ඩායමට පිරිනැමුණු උණුසුම් ආගන්තුක සත්කාර සැබවින්ම අනුස්මරණීය යි.


    අප දෙරට අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා ඇරඹුණේ 1963 වැනි ඈති අතීතයේ දී ය. ලතින් ඇමරිකානු රටවල් සමග ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කර ගැනීම ද ශ‍්‍රී ලංකාව ඉතා උනන්දුවක් දක්වන හෙයින් බොලීවියාවට පැමිණීම මට සතුටකි.


    අතිගරු මැතිඳුනි, ගරු කථානායකතුමනි, ජාතික මන්ත‍්‍රණ සභාවේ ගෞරවනීය සාමාජිකයිනි,


    සාමයේ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රගමනය වෙනුවෙන් වන මාගේ කැපවීම සම්භාවනාවට පාත‍්‍ර කරමින් පිරිනැමුණු මේ ගෞරවාන්විත සම්මානයේ වැදගත්කම පිළිබඳව මම දැනුවත් වෙමි. අතිගරු මැතිඳුන්, ගරු කථානායකතුමා විසින් පළ කළ හා පාර්ලිමේන්තු අභිධානයේ අන්තර්ගත වූ ප‍්‍රශංසාත්මක වදන් මම බෙහෙවින් අගයමි.


    මේ නියෝජිත මාසෙලෝ කුයිරෝගා සැන්ටා කෲස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී කුසලතා පිළිබඳ පාර්ලිමේන්තු අභිධානය බොලීවියානු රජය විසින් පිරිනැමුණු ඉහළම ගෞරව සම්මානය බව මම දනිමි.


    ශ්‍රේෂ්ඨ බොලීවියානු පුත‍්‍රයෙකුගේ නමින් නම් කෙරුණු මේ සම්මානය පිරිනැමීම පිළිබඳව මම විශේෂයෙන් කෘතඥ වෙමි. විදේශ රාජ්‍ය නායකයෙකුට මේ සම්මානය පුද කළ පළමු අවස්ථාව මෙය බව මට දැනගන්නට ලැබුණි. එබැවින්, මෙය මගේ රටටත්, පෞද්ගලිකව මටත් නිසැකවම ගෞරවයකි.


    මේ ගෞරවනීය සම්මානය ලබා ගැනීමේ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හා මානව හිමිකම් පිළිබඳ වීරයෙකු වූ ඔබගේ රටේ කීර්තිමත් පුත‍්‍රයෙකු වන බොලීවියාවේ ජනාධිපති හා උප ජනාධිපති අතිගරු ලූවී ඇඩොල්ෆෝ සිලෙස් (Luis Adolfo Siles) මැතිඳුන් හා මම එක් වන්නේ හෘදයාංගම තෘප්තියකිනි. මගේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය සමග දශක ගණනාවක් ක‍්‍රියාකාරීව සම්බන්ධ වූවකු වශයෙන් හිටපු ජනාධිපතිවරයාගේ පරමාදර්ශ හා දැක්ම ගැඹුරු සහකම්පනයකින් මම බෙදා ගනිමි. මාගේ වෘත්තීය දෙස හැරී බැලීමේ දී ස්වාධීන පලස්තීන රාජ්‍යයක් සඳහා වූ අභිප‍්‍රාය වෙනුවෙන් ශ‍්‍රී ලංකාව විසින් පළ කළ නිරන්තර සහයෝගය හා තරුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වූ දා පටන් මෙම ගැටළුව සම්බන්ධයෙන් වූ මාගේ දැඩි මැදිහත්වීම සිහිපත් කරන්නේ තෘප්තියෙනි.


    දශක 03කට ආසන්න ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ශ‍්‍රී ලංකාව සාමයේ හා ස්ථාවරත්වයේ යුගයකට අවතීර්ණව සිටී. බොහෝ අභියෝග මධ්‍යයේ වුව ද මගේ රට පශ්චාත්-අර්බුද මානුෂීය ගැටලු ආමන්ත‍්‍රණය කිරීමේ දී සාර්ථක ය. මේ වන විට පිහිටුවා ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හරහා සියලූ දේශපාලන පක්‍ෂ සමග සාකච්ඡා කිරීම තුළින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාදාමය ශක්තිමත් කිරීමට හා දේශපාලන ගැටලු ආමන්ත‍්‍රණයට මාගේ රජය කැප වී සිටී.


    ජාතික සංහිඳියාව තිරසාර වීමට නම් එය දේශීය වශයෙන් බිහි වූවක් විය යුතු බව ශ‍්‍රී ලංකාව දැඩිව විශ්වාස කරයි. මේ දේශීය ක‍්‍රමවේදය වන උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ව්‍යූහාත්මක ආකාරයෙන් ජාතික ක‍්‍රියාකාරී සැලැස්ම හරහා ක‍්‍රියාවට නැංවීමට අධීක්‍ෂණය කිරීම ද ජනාධිපති ලේකම් කාර්යාලයේ යාන්ත‍්‍රණයක් ස්ථාපනය කර ඇත.


    අතිගරු මැතිඳුනි, ගරු කථානායකතුමනි, ජාතික මන්ත‍්‍රණ සභාවේ ගෞරවනීය සාමාජිකයිනි,

    ජාත්‍යන්තර තලයේ දී වර්ධනය වන මානව හිමිකම් අඩාල කිරීමේ දෙබිඩි ප‍්‍රමිතීන් නිසා අපි කනගාටු වෙමු. ත‍්‍රස්තවාදයෙන් විනාශ වූ ප‍්‍රදේශවල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් හා නිදහස ඉතා කෙටි කලක් තුළ ප‍්‍රතිෂ්ඨාපනය කිරීමේ ජයග‍්‍රහණ වෙනුවෙන් මාගේ රට යුක්තියුක්ත ලෙස ආඩම්බර වේ.


    අපි දහස් ගණනක් වූ අවතැන් වූ ජනතාව නැවත පදිංචි කළෙමු. ත‍්‍රස්තවාදය තුරන් කළ වහාම වාගේ ළමා සොල්දාදුවන් 600 ක් ඔවුන්ගේ දෙමව්පියන්ට නැවත භාර දුන්නෙමු. සාමය උදා වී මාස කිහිපයක් ඇතුළත හිටපු සටන්කරුවන් විශාල ප‍්‍රමාණයක් නැවත ඔවුන්ගේ ප‍්‍රජාවන්ට මුදා හැරියෙමු. ඒ ඔවුන් වඩා හොඳින් පුනරුත්ථාපනය කළ හැක්කේ සමාජයට බව අපි විශ්වාස කරන හෙයිනි. ජාතික ආර්ථික වර්ධනය 7.2% පමණ මට්ටමක පවතිද්දී උතුරු පළාතේ ආර්ථිකය 22% කින් වර්ධනය විය හැකි පරිදි, විනාශ කරන ලද ආර්ථිකය අපි නැවත ගොඩ නැංවූයෙමු. දහස් සංඛ්‍යාත ජනතාවකගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ප‍්‍රතිෂ්ඨාපනය සහතික කරමින් දශක 3කට පමණ පසු අපි ප‍්‍රාදේශීය හා පළාත් සභා මැතිවරණ පැවැත්වූයෙමු.


    සංවර්ධනය වන ලෝකයේ අපගේ රටවල් බොහොමයක අහිතකර ප‍්‍රතිවිපාක ඇති කරමින් මානව හිමිකම් දේශපාලන මෙවලමක් ලෙස භාවිත කිරීමේ බටහිර ලෝකය විසින් පෝෂණය කරන වෑයම නිසා මේ ජයග‍්‍රහණ බොහෝ දුරට හඳුනා නොගැනීම අතිශයින් කනගාටු විය යුත්තකි.


    මේ ගැටලුවේ දී ශ‍්‍රී ලංකාවට අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් ඔබගේ රට කෙරෙහි මම විශ්වාසය තබමි.


    අප දෙරට පොදු උරුමයන් බෙදා හදා ගන්නෙමු. අප දෙරටම අධිරාජ්‍යවාදයේ විය ගසින් බොහෝ කලක් පීඩා විඳ ඇත්තෙමු. අපගේ දේශීය ප‍්‍රජාවන්ට ජීවිත තුළ ගැඹුරින් මුල් ඇද ගත් හරයන් හා සම්ප‍්‍රදායන් සමග සුසංගත වන විසඳුම් සොයා ගැනීමෙහි ඇති වැදගත්කම මුළුමනින්ම පැහැදිලිව අවබෝධ කොට ගැනීමට අපගේ ඓතිහාසික අත්දැකීම් ඉඩ සලසයි. අපගේ ජනතාවගෙන් වඩාත් පහසුවෙන් අවදානමට ගොදුරු විය හැකි කොටස් කෙරෙහි විශේෂ අවධානය දැක්වීමේ අවශ්‍යතාව පිළිබඳව අපි සංවේදීය. සංවර්ධන ධාවන තරගයේ දී ඔවුන් අත් හැර දමා යා යුතු නොවේ.


    දේශීය සම්ප‍්‍රදායන් හා හරයන් නොසලකමින් බාහිර මැදිහත්වීම් තුළින් සමාජ පද්ධතිය අඩපණ කළ විට වැළැක්විය නොහැකි ප‍්‍රතිඵලය වන්නේ සම්පූර්ණ අරාජකත්වය බව අප විසින් මතක තබා ගත යුතුය.


    අතිගරු මැතිඳුනි, රටවල් අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයට ඉහළ පෙළේ අන්තර් සබඳතා ඉවහල් විය හැකි බව ද මා තරයේ විශ්වාස කරන අතර, මේ තත්ත්වය තුළ ඔබගේ ශ්‍රේෂ්ඨ රටෙහි කෙරෙන මේ චාරිකාව නිරන්තර අන්තර් සබඳතාවන්හි ආරම්භක ලක්‍ෂ්‍ය වනු ඇති බව මාගේ අපේක්‍ෂාවයි. අප දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා ශක්තිමත් කර ගැනීම කෙරෙහි ද මම උනන්දු වෙමි. ශ‍්‍රී ලංකාවේ ඇත්තේ ඒක මණ්ඩල ව්‍යවස්ථාදායකයක් වන අතර, අපගේ පාර්ලිමේන්තු පද්ධතිය හා සම්ප‍්‍රදායන් වෙස්ට්මිනිස්ටර් ආකෘතිය මත පදනම්ව ඇත.


    දෙරට අතර පාර්ලිමේන්තු දූත කණ්ඩායම් චාරිකා මම යෝජනා කරමි. මෙය දෙරටේ පාර්ලිමේන්තු  සම්ප‍්‍රදායන් පිළිබඳ අවබෝධය ගැඹුරු කරලීමට හා ව්‍යාවස්ථාදායක සාමාජිකයන් අතර මිතුදම් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇත.


    අපගේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය තුළ මිතුරු රටවල විකාශය පිළිබඳ ක‍්‍රියාකාරී උනන්දුවක් දැක්වීමට උපකාරී වන පරිදි මිත‍්‍රත්ව සංගම් පිහිටුවා ඇත්තෙමු. මෙය ඔබගේ සම්ප‍්‍රදායන්ට අනුගත වේ නම් අපගේ ව්‍යවස්ථාදායකයන් තුළ පාර්ලිමේන්තු මිත‍්‍රත්ව සංගම් ඇති කිරීමට මම යෝජනා කරමි. ඔබගේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සමානුපාතික නියෝජනය තුළින් තේරී පත් වී ඇති අතර, අනෙක් අය තනි සාමාජික ඡන්ද දිස්ත‍්‍රික්ක නියෝජනය කරන බව මම දනිමි.


    මේ ඡන්ද ක‍්‍රමය ක‍්‍රියාත්මක වන ආකාරය ඉගෙනීමට හා එහි සඵලතාව අත්විඳීමට මම කැමැත්තෙමි. පාර්ලිමේන්තු ආසනයක් සඳහා තරග කිරීමේ දී වයස් සීමාවක් ඇති බව ද මට දැන ගැනීමට ලැබුණි.


    අතිගරු මැතිඳුනි, ගරු කථානායකතුමනි, ජාතික මන්ත‍්‍රණ සභාවේ ගෞරවනීය සාමාජිකයිනි,

    අප දෙරට අන්තර්ජාතික වේදිකාවල දී විශේෂයෙන් නොබැඳි ව්‍යාපාරය හා ජී77 කණ්ඩායමේ දී සමීප සහයෝගීතාවක් අත් විඳින්නෙමු. සංවර්ධනය වන රටවලට අදාළ බොහෝ කරුණු පිළිබඳව අපට ඇත්තේ සමාන අදහස් හා පොදු ස්ථාවරයන් ය. ජාත්‍යන්තර වේදිකාවල මෙම සමීප සබඳතාව අපගේ ද්විපාර්ශවික සබඳතා දක්වා දැන් විහිදිය යුතු වේ.


    අතිගරු මැතිඳුනි, ගරු කථානායකතුමනි, ජාතික මන්ත‍්‍රණ සභාවේ ගෞරවනීය සාමාජිකයිනි,

    අප දෙරටේ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමට ද මම උනන්දු වෙමි. අප දෙරට එකිනෙකාගෙන් බොහෝ දුරින් පිහිටිය ද සංචාරක ව්‍යාපාරය හා සංස්කෘතික හුවමාරුව ප‍්‍රවර්ධනයට ඒකාබද්ධ මුලපිරීම් සඳහා අපට එක් විය හැකි බව මාගේ විශ්වාසය යි. අපගේ සංස්කෘතීන් පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම සඳහා දෙරටේ ජනතාව අතර සබඳතා අප විසින් ප‍්‍රවර්ධනය කළ යුතු වේ.


    අතිගරු මැතිඳුනි, ගරු කථානායකතුමනි, ජාතික මන්ත‍්‍රණ සභාවේ ගෞරවනීය සාමාජිකයිනි,

    මේ ගෞරවනීය සභාව සමග සම්බන්ධ වීමේ අවස්ථාව ලබා දීම වෙනුවෙන් හා සාමය හා ප‍්‍රජාතන්තවාදය උදෙසා මේ ගෞරවනීය කුසලතා අභිධානය මට පිරිනැමීමෙන් ශ‍්‍රී ලංකාවට දැක්වූ ගෞරවය වෙනුවෙන් මම නැවතත් ඔබට ස්තුතිවන්ත වෙමි.


    ස්තුතියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya