සම්බා සහ කීරි සම්බා සහල් හිඟයක් ඇතිවීමේ අවදානම හේතුවෙන් එම සහල් වර්ගවලට විකල්ප ලෙස සලකන සහල් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
2025/26 මහ කන්නයේ සම්බා සහ කීරි සම්බා සහල් මුළු නිෂ්පාදනය මෙරට අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් නොවන බව කාෂිකර්ම දෙපාර්තමේන්තුව, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු ආයතනය සහ ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය විසින් ඉදිරිපත් කළ යාවත්කාලීන තොරතුරු මත පදනම්ව පෙන්වා දී ඇත.
එම තොරතුරු අනුව 2026 මැයි මාසය වන විට සම්බා සහ කීරි සම්බා සහල්වල උග්‍ර හිඟයක් ඇති විය හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
වෙළෙඳපොළේ පවතින ඉල්ලුම ස්ථාවර මිලක් යටතේ සපුරාලීම සඳහා සම්බා සහ කීරි සම්බා සඳහා ආදේශක ලෙස සලකන සහල් වර්ග ආනයනය කිරීමේ අවශ්‍යතාවය ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව විසින් ද අවධානයට ගෙන ඇත.
ඒ අනුව, HS Code 1006.30.29 යටතේ වර්ගීකරණය කර ඇති පොන්නි සම්බා, කීරි සම්බා සහ කිරි/පොල් පොන්නි ඇතුළු GR 11 ලෙස හඳුන්වනු ලබන සහල් වර්ගයෙන් උපරිම මෙට්‍රික් ටොන් 1,040ක් 2026 අප්‍රේල් 1 සිට අප්‍රේල් 30 දක්වා කාලය තුළ ඕනෑම ආනයනකරුවෙකුට ආනයනය කිරීමට අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇත.
එම සහල් තොග 2026 මැයි 31 දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා රේගුව හරහා නිෂ්කාශනය කළ යුතු බවද සඳහන් වේ.
තවද, මෙම සහල් වර්ග ආනයනය කරන ආනයනකරුවන්ට ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීමට ද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.


